අවසන් මොහාත | Near Death
වේලාව බොහෝ පසුවී තිබූ බැවින් පාර මාරුවීමට ගත වෙන පරක්කුව පිළිඹඳ මට ලෝබකමක් ඇතිවිය.මද වැස්සක්ද තිබූ බැවින් කහ ඉර නොතකා වේගයෙන් ඉදිරියට ඇදීයන වාහන පෝළිම මා තිගැස්මට ලක් කරමින් තිබිණ.“කොළ ලයිට් එක !! මේ මගේ වේලාවයි“.එක අතක කුඩයද අනෙක් අතේ බෑගයද රැගෙන පාර පනින්නට කහ ඉර මතින් අඩි කීපයක් ඉදිරියට ගියෙමි.ඉතා වේගයෙන් යමක ගැටෙනු මා ගැටෙනු දැනුනි. සියොළඟ දරාගත නොහැකි වූ කටුක වේදනාවක් සමඟින් තද සීතලක් ද සමගින් කන් අගුල් වැටී කිසිත් නොපෙනෙන්ට වීය.
මිනිසුන්ගේ අඳෝනා හඬ සහ වාහන නලා හඬවල් පමණක් ඇසෙන ඇසිල්ලේ සුළු මොහොතක් ගතවී ඇති බව පමණක් දැනුනු මා දෑස් විවර කලෙමි.දරාගත නොහැකි ආලෝකයක් මා වෙත එල්ල වී තිබිණ.එය කොහින් කෙසේ පැමිණියේ දැයි මා නොදනිමි.ගතට වූ කටුක රිදුම දැන් මට දැනෙන්නේ නැත. සුවපහසු බවක් මත මා පාවී යන සෙයක් දිගින් දිගටම දැනෙමින් පවතී. මට සිදූවූයේ කුමක්ද..? මට මතක් වුනා…තහකනියේ පාර පනින්නට කහඉරට අඩිය තැබූ මා බස් රථයක හැපී ඇත. පෙර නොවූ හැගීම් දැනීම් සමුදායක් මා හට දැනෙමින් තිබිණි. එය මරණයද ? මට නොතේරේ. බස් රථයේ ගැටුනු මාගේ ශරීරය පාරේ කොනක දෙකට නැවී වැටී තිබෙනු මා හටම පෙනෙන්නට විය.එම දසුන මෙමා විශ්මයටත් ශෝකයටත් පත් කරන්නට සමත් විය.ඒ හැගීම විස්තර කරන්නට මා හට නොහැකිය. ඉතා ශබ්ධ නගා කෑ ගසන්නට වෑයම් කළෙමි.වරෙක හඬන්නටද උත්සාහ කලෙමි.මා මිය ගොස් ඇති බව මා කෙසේ පිළිගන්නද..
“පොඩි දුවේ, පොඩි දුවේ..”වසර දහයකට පෙර අප අතරින් වියෝවූ අප්පච්චී මා ළඟ මට අල්ලාගත හැකි දුරින් පෙනී සිටියි..”දුවේ උඹේ ආයුෂ ඉවර නෑ ඒත් උඹට මේ පැත්තට එන්න වුනා නේද ?..මට පේනවා උඹ මැරෙන්න ඕන නැහැ දැන්ම..ඒත් අප්පච්චි මං කොහෙද ? “දුවේ බය වෙන්න එපා..කරපු පිං ටික සිහිකරපන්..දන් පින් සිහි කරපන්. පන්සල හදන්න උදවු කරපුවා, මාව ලෙඩ වෙලා ඉද්දි සලකපුවා මතක් කරපං, උඹ පවු කරලා නෑ”. උඹ ඉක්මනට ආපහු පලයන් දුවේ.මං ශ්‍රී මහ බෝධිය ගාව ඉඳලා මේ දුවගෙන ආවේ..
මං හිතන්නේ ඒ මගේ හිත වෙන්න ඕන.නැතිනම් ඒ ඇත්තම අප්පච්චිද??මං කර කියාගත් පිංකම් හැකි පමණ මතක් කරා..
“ඒ මෙයාට තාම පණ තියෙනවා වාහනයක් නවත්තපං”
සැහැල්ලුවෙන් පාවී යමින් මාගේ සිරුර රෝහල් ගත කරන අයුරු දුක්මුසුව බලා සිටියෙමි.අම්මාද මල්ලීද අයියාද සිහිවෙමින් මා පිළිස්සී යන බැවු දැනෙන්ට වීය.
යම්කිසිවක් හෝ නොදැනුනත් කාල අවකාශය ගෙවී යන බව ටිකෙන් ටික දැනෙන්ට වීය. හිස බේරී දකුණු අත දෙසින් බසයේ වැදුනු බවත් මා උඩින් ගොස් බිම වැටු බවත් මට දැන් මතකය. කාල අවකාශය තුල සැරිසැරූ මා නැවත කවුරුන් හෝ විසින් අදින බවක් දැනෙන්ට විය. මා හට කටුවලින් අනින බවත් අත පය ඇතුලින් ක්‍රමයෙන් වේදනාවන් දැනෙන බවත් මට දැනෙන්ට වීය.
ගතවූ දින ගණන මා හට මතක නැත. සියොලඟ දැනෙන්නා වූ කටුක වේදනාවන් මතින් මා ක්‍රමයෙන් දෑස් විවරකළා. පෙර දැනුනු සැහැල්ලුව නොමැත.ඒ වෙනුවට මා වටා ඔතා තිබූ රෝහල් උපකරණ වල බර සහ කටුක වේදනාව වියළී ගිය උගුරට දැනුන දැඩි තිබහව පමණක් දැනෙමින් තිබිණ. “වතුර…වතුර”……..
“අනේ දුවේ….මගේ පණ ඇස් ඇරලා…දෙයියෝ බුදුන් බුදුවෙන්න මගේ දුක ඔබ වහන්සේලා දැක්කා” අම්මා හඬමින් සිටියි.ඒ අතර මල්ලීද අයියාද වූහ..මා දෑස් විවර කල බැවු සැළවී තවත් මිතුර මිතුරියන් රොත්තක් වාට්ටුවේ ඇඳ වටකරගත්හ. “දැන් බයවෙන්න දෙයක් නෑ.ඔලුව වැදිල නැති නිසා මෙයාව බේරගන්න පුළුවන් වුනා,කේස් එක ටිකක් සීරියස් නිසා පහුගිය දවස් ටිකේම අපි ICU එකේ තියන් ට්‍රීට් කරේ. දැන් අවුලක් නෑ ටික ටික රිකවර් වෙයි” මා බැලූ දොස්තර මහතා විස්තර කරන්නට විය.”අනේ පිං අයිති වෙයි දොස්තර මහත්තයෝ” අම්මා නැවතත් හඬන්නට විය..
“අම්මේ….මට එහෙදි අප්පච්චි හම්බුනා..කරගත්තු පිං ටික මතක් කරගන්න කියලා අප්පච්චි ආපහු ශ්‍රී මහ බෝධියට ගියා.දිගු හුස්මක් ඇල්ලූ අම්මාගේ ඇහෙන් අළුත් කඳුළු බිංදුවක් එළියට පැන්නා.
හසිත හේරත් | Athirasa [ Life ]