සුබ පැතුම ‍| Birthday Candles

සුබ පැතුම ‍| Birthday Candles

උපන් දිනයකදී වයස තව තවත් ඉදිරියට ගියත් කුඩා කාලයේ සිටම බොහෝ අය කුඩාවට හෝ සාදයක් ගෙන කුඩා හෝ කේක් ගෙඩියක ගැසූ ඉටිපන්දම් කිහිපයක් දල්වා එය කටින් පිඹ නිවා දමා උපන් දිනය සමරන්නට ප්‍රිය කරනවා. විශේෂයෙන් තරුණ වැඩිහිටියන් තම කුඩා දරුවන් සමඟ මෙය සිදුකරනවා. මෙම ඉටිපන්දම් නිවීම කවුරු පුරුද්දට, දැන හෝ නෝදැන කළත් මෙම ක්රියාවේ අතීත සැමරුම් කතාවක් තිබෙනවා. එම කථාව ග්‍රීක ඉතිහාසයේ අතීතය දක්වාම දිව යනවා.

ග්‍රීක මිත්‍යා කතාවල එන “ආර්ටෙමිස්” නම් දෙවඟන වෙනුවෙන් මෙම ක්රියාව සිදු කරනවා. දඩයමට අධිපති වූ ඇය කැළයට, සතුන්ට, දරුඋපත් වලට, කන්යාභාවයට හා සඳටත් අධිපති දෙවඟනකි. මෙහිදී ඇය දරුඋපතට හා සඳට අධිපති වීම යන කාරණා මුල්කොට ගෙන සඳ මෙන් රවුම් කේක් ගෙඩියක ඉටිපන්දම් දලවා සඳ මෙන් ආලෝකමත් කරනවා. “උපන් දිනය සමරන කෙනා” විසින් මෙම සඳට ආරෝපණය කල ආලෝකය සහිත ඉටිපන්දම් නිිවා දමන්නේ සිතෙහි කිසියම් වූ පැතුමක් තබාගෙනයි. ඉටිපන්දම් ක්ෂණිකව නිවී යෑමෙන් ඇතිවන දුම් රොටු ඉහළ ආකාසයට ඇදී යනවා. සිතෙහි ඇති කරගත් එම පැතුම නිවී ගිය ඉටිපන්දම් වල දුම්රොටු සමග ඉහළ ආකාශයේ රැඳී සිටින ආර්ටෙමිස් හා සබැඳි අනෙක් සියලු දෙවියන් වෙත ගෙන යන බව අතීත රෝමානුවන් විශ්වාස කලා. එමෙන් ආර්ටෙමිස් වෙත තවත් දඩයම් ලැබී ඇයව තුටු වීමට මෙම දුම් රොටු යාඥාවක් බවත් , තුටු වූ ඇයගෙන් තමා වෙත ආශිර්වාද ලැබෙන බවත් අතීත රෝමානුවන් විශ්වාස කලා

තවද මෙම ඉටිපන්දම් එකිනෙකට ආසන්නයෙන් සිටවීමෙන් ආර්ටෙමිස් දෙවඟන සඳහා වූ පන්සලේ “ගල් කණු” වල අනුරුවක්ද ඔවුන් කේක් ගෙඩිය මත නිර්මාණය කළා.

ඉටිපන්දම් නිවා දැමීමට පෙර උපන්දිනය සමරන කෙනාගේ නෑදෑ හිතමිතුරන් විසින් ගීයක් ගයනවා. එය කවුරුත් දන්නා Happy Birthday to you ගීයයි. එය මෑත අතීතයේදී නිර්මාණය වූවක්. 1893 දී බ්‍රිතාන්‍ය ජාතික පැටී හිල් හා මිල්ඩ්රඩ් හිල් නමි ළදරු පාසලක භාරකරුවන් දෙදෙනෙකු විසින් නිර්මාණය කරන ලද මෙම ගීය මුල් අවධියේදී ගායනා වූයේ Good Morning To You ලෙසයි. පසුව එය උපන් දින සුබපැතුමක් ලෙස වෙනස් වූ අතර වත්මනෙහි සෑම පෘථිවි වැසියෙක්ම ගායනා කරනා එකම උපන්දින සුබ පැතුම් ගීය බවටද පත්ව තිබෙනවා.

වයසින් මුහුකුරායන විට නිවාදමන දුම්රොටු සමග දෙවියන් වෙත යවන පැතුම තව තවත් සුබවාදී කොට ගත් අතීත රෝම වැසියා තම දෙවියන් වෙනුවෙන් මනා පැහැදීමකින් ජීවත් වූවා. කෙසේ හෝ වර්ථමානයේ අපද , අපගේ දරුවන් වෙනුවෙන්, වැඩිහිටියන් වෙනුවෙන් උපන්දින සාද සමරන විට කේක් ගෙඩිය මත සවිකල ඉටිපන්දම් නිවීමෙන් දැන හෝ නොදැන මතක් කොට සිටින්නේ ග්‍රීක දෙවිවරුන්ගේ “රජ” වූ සියුස් දෙවියාගේ දියණය වන දඩයමට , කැළයට , සතුන්ට , දරුඋපත්වලට , කන්‍යාභාවයට , සඳට අධිපති “ආර්ටෙමිස්” දෙවඟනමයි.

හසිත හේරත් | Athirasa [History]