Categories

A Hero "Bus Driver"
Life

නොමළ වීරයා | Hero

645views

ලොව පුරා ලෝක ළමා දිනය සමරමින් තවත් විටෙක වැඩිහිටි දිනයද සමරමින් උදාවූ අලුත්ම ඔක්තෝබර් මාසය.රටවැසියන් සියලු දෙනා සති අන්තයේ විවේක සුවය විඳිමින් තම නිවෙස් වලට වී ටිකක් වැඩිපුර නිදාගනිමින් ගෙදර දොර, දරුවන්ගේ ඕන එපාකම් සොයාබලමින් ගෙවා දමන්නට නියමිත සුන්දර ඉරිදා දවසක ඇරඹුම.

වෙනදා වගේම කීරිගැහෙන සීතලත් එක්ක හපුතලේට එළිවුනේ දවසේම වැඩ කටයුතු ටික ඉවරගන්නත් කලින් බැහැලා යන හිරු අහසේ පායන ඇසිල්ලෙන්. බොහෝ අගහිඟකම් වලින් මිරිකුණු මිනිසුන් බොහෝ වාසය කරන බණ්ඩාරවෙල ලංගම ඩිපෝවට නම් වෙනදා වගේම මේ ඉරිදාත් කිසිම ඉස්පාසුවක් තිබුනේ නෑ.ඩිපෝවේ බස් රථ 109ක් පමණ තිබුනත් ඉරිදා දිනයේ ඒ සියල්ල රාජකාරියට යොදවා තිබුනේ නැහැ. හපුතලේ කන්ද බඩ ගෑ කරත්ත කරුවන් තම කරත්තයේ බැඳි ගොන් තඩියාගේ දුක දැණුනු නිසා නොයෙක් වර කවි කීවත් හපුතලේ කඳු බඩගාන ලංගම බස් වලට නම් කවි කියවී තිබුනේ නැත. කඳු බඩගානා නිසාදෝ බොහෝ බස් රථ අබල දුබල තත්වයේ තිබෙන බව ගම්වැසියන් නම් නොදන්නා කාරණාවක් නොවේ.

63-0581 බස් රථය බණ්ඩාරවෙල ඩිපෝවට ආගන්තුකයෙකි. මීට මාස කිහිපයකට පෙර කැළණිය ඩිපෝවෙන් ඉවත් කෙරුණු 63-0581 බස් රථය බණ්ඩාරවෙල ඩිපෝවට පැමිණියේ කිසියම් අලුත්වැඩියා කිහිපයකට පසුවයි. හපුතලේ සිට ඌව කොස්ගම තෙක් මගී ප්‍රවාහනය සඳහා යෙදවෙන මෙම බස් රථය පෙනුමෙන් බොහෝ හොඳ වුවත් අබලි තත්වයක් නොතිබුනේම නොවේ. නීතිගරුක බස් රියදුරෙක් වූ කීර්ති බණ්ඩාර මහතාව මෙම රථයේ රියැදුරා ලෙස යොදවන්නේ ඔහුගේ ගම්පියසද ඌව කොස්ගම ආසන්නයේ නිසාමයි. ඔහුගේ රිය සහායක කොන්දොස්තර මහතා ලෙස එක්වන්නේ ආර් එම් රත්නායක මහතායි. නිතරම ගමේ මිනිසුන් සමග එකමුතුව මගී ජනතාව පරිස්සමට එහේ මෙහේ ගෙන යන කීර්ති මහතා ඌව කොස්ගම තෙක් සියලුම මගී ජනතාවගේ හිත් දිනාගත් අයෙකි. ඉතා වේගයෙන් හෝ කොට කොටා හෝ නොයන කීර්ති මහතා නිවැරදි කාලසටහනට නියමිත නැවතුම පසුකල අවුරුදු 15 ක ලංගම සේවයේ අත්දැකීම් බහුල රියැදුරු මහතෙකි. ගමේ අහිංසක ජනතාව අඩි පාරේ බසයට එනු පෙනි පෙනී බසය අද්දා නොයන කීර්ති මහතා ඔවුන් මහ පාරට පැමිණෙන තෙක් කෙටි වෙලාවක් රැඳී සිටින , බඩු මල්ල පවා පටවාගන්නට බසයේ ඉඩ හදා දෙන හරි අපූරු රියැදුරු මහතෙකි. ඔහුගේ සහායක රත්නායක මහතාද ඊට නොදෙවෙනිය.

ඔක්තෝබර් පළමුවැනිදා කීර්ති මහතා තම බස්රථය අස්පස් කොට පාරට දැම්මේ වෙනදා මෙන් සුක්කානමට කිහිප වරක් වැඳ බුදුහිමිගේ මුවද සිහි කිරීමෙන් අනතුරුවයි. බසයේ කොනක සවිකල හඳුන්කූරේ සුවඳ බස්රථය පුරා හමායද්දී බස් රථය කෙමෙන් බණ්ඩාරවෙල සිට කඳු හෙල් පසු කරමින් තම ගමනාන්තය වූ ඌව කොස්ගම වෙත පැමිණියේය.නියමිත කාලසටහනටම ඌව කොස්වත්තට පැමිණි කීරිති මහතා නැවතත් බණ්ඩාරවෙල තෙක් යාමට සූදානම් විය.බොහෝ මගීන්ට සේවා සලසමින් 63-0581 බස් රථයත් එය පැදවූ කීර්ති මහතාත් , කොන්දොස්තර වර රත්නායක මහතාත් කිසිදු කරදරයකින් තොරව බණ්ඩාර වෙලට පැමිණ තම පළමු ගමන් වාරය නිමා කලේ කෙටි විඩාවක් ලබාගැනීමට ඉඩ හසර සකස් කොට ගනිමිනි.

නියමිත කාලසටහනට අනඅව තම දෙවන ගමන් වාරය ආරම්භ කරමින් කීර්ති මහතා සවස 4.20ට බසය පාරට දැමූයේ පෙර මෙන් සුක්කානමට කිහිප වරක් වැඳ නමස්කාර කිරිමෙන් අනතුරුවයි.එහෙත් මෙය තම දිවියේ අවසාන ගමන් වාරය බැව් ඔහු දැන සිටියේ නැත.නියමිත වේලාවට හපුතලේ නගරයට පැමිණි බස් රථය එහි කෙටි වේලාවක් නවත්වා තැබූයේ මගීන්ට ගොඩවීමටයි.බොහෝ පිරිසක් හපුතලෙන් බැසගිය අතර තවත් කිහිපදෙනෙකු බසයට ගොඩවිය. කීර්ති මහතා තිරිංග අතහැර පළමු ගියරය ක්‍රියාත්මක කොට බෙරගල දක්වා ගමන ඇරඹීය. හපුතලේ පසුතරමින් බඩ පිච්චෙන කඳුගැට සහ වංගු කිහිපයක් අතරින් බසය ඉදිරියට පැමිණෙන්ට විය.අතර මගදී පාරට දිව ආ තවත් මගියෙකු බසයට නංවාගත් කීර්ති මහතා නැවතත් පළමු ගියරිය ක්‍රියාත්මක කළේය.

මාරයාගේ හෝරාව උදාවිය.වේලාව සවස 5.15 විය. මහ වංගුවට මෙපිටින් කීර්ති මහතා බසයේ වේගය ලෙස පැයට කිලෝමීටර් 40-60ත් අතර ප්‍රමාණයකින් තබාගත්තේ වංගුවේදී ආරක්ෂාකාර ලෙස රථයේ වේගය අඩාල කරගැනීමටයි. මහ වංගුවෙන් පැමිණි ලොරියට ඉඩදුන් කිර්ති මහතා තිරිංග පැඩලය පෑගූවේ වෙනදා මෙන් වේගය අඩාල කරගැනීමයට. ඔහුට දෙලෝ රත් වූයේ පෑගුන තිරිංග විධානයට බසයේ වේගය අඩාල වූයේ නැති කොටය. බසයේ තිරිංග ක්‍රියා විරහිත වී ඇත.ඉදිරියෙන් පෙනෙන්නේ මහ වංගුවය. හපුතලේ උඩුවිහාරගල වංගුව බොහෝ භයානක ඉදිරිය පවා නොපෙනන දරුණු වංගුවකි.දිනපතා මෙම වංගුව පසුකරන ඔහුට මෙහි අරුමයක් නොතිබුනත් ඔහු මේ බව සහායක රත්නායක මහතාට දන්වා මොර දෙමින් මගීන්ට මේ බව දැනුම් දෙන්නට විය.

“බස් එකේ බ්‍රේක් නෑ. ඔයාල කලබල වෙන්න එපා.මං මේක කොහොම හරි නවත්වනවා.ඉක්මනට ඔය ඉස්සරහා ඉන්න අය පස්සට ගිහින් පුළුවන් පුළුවන් තැන්වලින් අල්ලාගන්න. මං ගැන හිතන්න එපා. මාව විශ්වාස කරන්න. රත්නායක මල්ලි මෙයාලාව පස්සට යවලා උඹත් පස්සට පලයන්,මගේ ජීවිතේ මං බලාගන්නම්, උඹලා පස්සට ගිහින් හයියෙන් අල්ල ගනින්ලා “

ඒ ඇසූ රථ සහායකද මොර දෙන්නට විය.

“අපි මේක කෝම හරි නවත්වනවා.පස්සට යන්ඩලා, හයියෙන් අල්ලාගන්නඩලා“

“කීර්ති අයියේ මොකද කරන්නේ“

“කලබල නොවී හිටාං, මේක මං ගැට්ටට අල්ලනවා,මොනවා වෙයිද දන්නේ නෑ.පල්ලම නිසා වේගෙ ටිකක සැරයි“

කලබල වූ මගීන්ගෙන් 27 දෙනාගෙන් බසය පසුපසට ගියේ කිහිප දෙනෙකි.ඉතිරිය බසය මැද රැඳී මරබියෙන් බසයේ යකඩ ගරාදි බදා ඉන්නට විය.

ගතවූ නිමේෂයෙන් වේගයෙන් පැමිණි බසය මහ වංගුවට පෙර කඳුගැට්ටේ හැපිණි. අබලන් බස් රථයේ ආසන මෙන්ම යකඩ ගරාදි ගලවාගෙන මගීන් බොහෝ දෙනා ඉදිරියට විසිවී ගියේය. වීදුරු බිදෙන ඝෝෂාහඬ මැද්දෙන් ඇසුනේ කාන්තා පිරිමි අඳෝනා වැලකි. බසයේ තැනින් තැන වැටුනු සමහරු අපහසුවෙන් නැගිට බසයේ වැටී සිටි පිරිස අපහසුවෙන් එළියට ගත් අතර ඉදිරිපසට ගොස් බලන විට දක්නට ලැබුනේ කීර්ති මහතා කැඩී බිඳී පොඩිවී ගිය යකඩ අතරමැද දෙකට නැමුනු සුක්කානම බඳා රුධිරය ගලමින් අත පය ඇඹරී සිටින දර්ශනයයි. බොහෝ දුක් අඳෝනා මැදින් රියදුරු මහතාද, කොන්දොස්තර මහතාද අනෙක් මගීන්ද කඩිනමින් රෝහල් ගත කෙරිණ.

අනතුර හේතුවෙන් රථයේ ගමන් කරමින් සිටි ලංගමයේ වේලා තබන නිළධාරි මහතෙකු වූ එස්.එම්.සුනිල් කුමාරසිරි මහතාද, පොලිස් නිළධාරී මහතෙකුද රෝහල් ගත කිරීමෙන් තම ජීවිත වලින් සමුගත්හ. මුළු ගමක් මළගමක් වන්නට නොදී තම ජීවිතය පරදුවට තබා බසය නවතාගැනීමට කඳුගැට්ටේ පතිත කල කීර්ති බණ්ඩාර නම් ඒ මිනිසාද දියතලාව රෝහලේදී තම අවසන් සුසුම වා තලයට එක්කොට තිබුණි. ඇසකට හා සුසුම්නාවට සිදුවූ බරපතල හානිද සහිතව රිය සහායක සිවුදරු රත්නායක මහතා තවමත් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ රැඳී සිටී.

දරුවන් දෙදෙනෙකුට ආදරණීය පියෙකු වූ කීර්ති බණ්ඩාර මහතා ගමක නොව ගම් කිහිපයක සෝසුම් මැද අද(04) වෙහෙරගොඩ පොදු සුසාන භූමියේදී භූමදාන කරනු ලැබීය. වෙනදා ඈතින් ඇසුන බසයේ හෝන් හඬ නිහඩ වී තිබිණි.වෙනදා හඬතලන කොන්දොස්තර රත්නායක මහතාගේ හඬ නිහඬවී තිබිණි. ආදරණීය වීර මිනිසෙකු වූ කිර්තී මහතාගේ සිනහව හිස් වාතලයටම මුසුවී ගොස් තිබිණ. ඩිපෝ පාලකයින්ගේ වගකීම් විරහිත අබලන් බස් රථ යෙදවීම නිසා ගමක් කඳුලෙන් වැසීයාමට තිබූ අවස්ථාව නවතාගත් කීර්ති බණ්ඩාර නම් ඒ මිනිසා සැබෑම විරුවකු ලෙස තම දිවි පුදා තිබිණි.

පාලකයිනි! නැවතත් මෙවන් අභාග්‍යයක් සිදුවීමට ඉඩ නොතබා අබලන් බසය වෙනුවට අලුත් බස් රථයක් ඌව කොස්ගමට ලබාදීමට කටයුතු කරන්නේ නම් මැනැවි. එමෙන්ම අනාථ වූ කීර්ති බණ්ඩාර මහතාගේ සහ රත්නායක මහතාගේ දරුපවුල් වෙනුවෙන් යමක් කිරීමට ඔබට අවැසි නම් බණ්ඩාරවෙල ඩිපෝව අමතන්න 057 222 2281

අහම්බෙන් බිහිවී අනෙකා වෙනුවෙන් දිවිපිදූ ඔවුන්ට අපි “සැබෑම වීරුවන්“ යැයි කියමු, කීර්ති බණ්ඩාර මහතාණෙනි ඔබ අපට සැබෑම විරුවකු වන්නේ එබැවිණි.

ස්තූතිය –
එම්.එල්.එම් ප්‍රියන්ත අනුර කුමාර මහතා
(CTB නිළමේ – හපුතලේ )
දමයන්ති ජයසිංහ මහත්මිය
(බෙරගල)

සටහන – ©හසිත හේරත්

Hasitha Herath

Hasitha Herath

Head Of Athirasa.lk / Author / Content Maker