සොරකම් කළ රේඩියෝ සංඥා | Car Lock Hacking

සොරකම් කළ රේඩියෝ සංඥා | Car Lock Hacking

තමන්ගේ වටිනා කියන වස්තූන් අතර ප්‍රධානම තැනක් ගන්නා උපකරණ අතර මුලින්ම තියෙන උපකරණයක් තමන්ගේ වාහනය. බොහෝම පරිස්සමට පැදයන අතර නිවැරදි වේලාවට සේවා අලුත්වැඩියා කිරීමෙන්, තෙල් මාරු කිරීමෙන් මෝටර් රථයේ කාර්යක්ෂමතාවය වැඩි කරගන්න අපි කවුරුත් උනන්දු වෙනවා. අලුත්ම මෝටර් රථයක් හෝ පාවිච්චි කරන ලද මෝටර් රථයක් හෝ වේවා එහි අයිතිය ඔබ සතුනම් එය ඔබේ දරුවෙක් හා සමානව රැකගන්න ඔබ සෑම විටම උත්සාහ දරාවි. එහෙවු මෝටර් රථයට හානියක් වේ නම් ඔබට එය කෙසේ දැනේ දැයි මා අමුතුවෙන් කිවයුතු නැහැ.මේ කියන්න යන්නේත් ඒ වගේ දෙයක් ගැන. කොටින්ම කිවුවොත් ඔබේ මෝටර් රථයේ අගුල ගැන ඔබ 100%ක් ම විශ්වාසය තැබිය යුතුද යන්න ගැන.

පැරණි වාහන හෝ නවීන වාහන හෝ වේවා සෑම වාහනයකම ප්‍රධාන අංගයක් වාහන දොර අගුල්. පැරණි වාහන වල රථයේ යතුර දමා කරකවා ලීවර ක්‍රමයට ක්‍රියාත්මක කරන අගුල් පද්ධතියක් ඇති අතර, නවීන වාහන වල ඇත්තේ දුරස්ථ පාලකයක් මගින් මෝටරයක් ක්‍රියාත්මක කරවා ලීවර පද්ධතිය ක්‍රීයාත්මක කර දොර අගුලු දමන ක්‍රමයකි. වර්ථමානයේදී නම් පැරණි වාහන වලට පවා පිටින් සවිකොට ගතහැකි දුරස්ථපාලක ලීවර පද්ධති අඩුමුදලකට ලංකාවේදී ලබාගන්නත් පුලුවන් නිසා බොහෝ වාහන හිමියන් මෙම දුරස්ථපාලක අගුල් සවිකොට ගන්නවා. බොහෝ නවීන වාහන වල නම් නිෂ්පාදන සමාගම මගින්ම සවිකළ අති දියුණු දුරස්ථ පාලක අගුලු පද්ධතියක් තිබෙනවා. ඔබ කොහේ ගියත් රථයෙන් ඉවත් වී එක බොත්තමක් ඔබා ඔබ ඔබේ රථය අගුලු දමාවි. ඉතිං ! ඔබ හිතාවි මේ දුරස්ථ පාලක අගුල ඉතාමත් ආරක්ෂාකාරී හා බිඳ නොදැමිය හැකි එකක් ලෙස සිකා රථය තුළ ඔබගේ වටිනා භාණ්ඩ පවා තබා එතනින් ඉවත්ව යාවි. එහෙත් ඔබ දන්නවාද දැන් ඔබේ රථයේ ආරක්ෂාව 0% ක් බව ?

2016 වසරේදී ඇමරිකාවේ කැලිෆෝනියාවේ එක්තරා රථගාලක නවතා තිබූ නවීන ජීප් රථ දෙකක් සොරුන් විසින් අගුලු විවෘත කොට රැගෙන යන අයුරු CCTV කැමරා දර්ශණ වල සටහන් වී තිබුනා. ඉතා නවීන දුරස්ථ පාලක අගුලු පද්ධති හිමි මෙම රථ දෙකෙහි අගුලු අරින්නේ කෙසේදැයි මෙම කැමරා දර්ශණ වල සටහන් වී තිබුනේ නෑ. ඔවුන් දෙදෙනා නිසොල්මනේ පැමිණ නිතරගයෙන් දොරවල් විවර කොට රථ දෙකට ඇතුල් වී එම රථ දෙක රැගෙන ගියා. ඉන්පසු ඇමරිකාවේ ස්ථාන කිහිපයකින් මෙවැනි සිදුවීම් වාර්ථා වුනා. පොලිස් නිරීක්ෂණ මගින් හෙළිවූයේ මෙම රථ වලට ඇතුලු වූ සෑම පුද්ගලයෙකුගේම අතේ අමුතු උපකරණයක් තිබූ බව පෙනී ගිය බවයි. වැඩිදුර පරීක්ෂණ කරන අතරතුර මෙම සිදුවීම් සියල්ලටම අදාල සත්‍ය තොරතුරු හෙළිවුනා.

රථයේ සිට අඩි 20 ක් පමණ දුරක් තෙක් ප්‍රථිචාර දක්වන මෙම දුරස්ථපාලක යතුර ඉලෙක්ට්‍රොනික පරිපථයක් සහිත කුඩා ට්‍රාන්ස්මීටරයකි. මේ තුල අගුලු ලෑමේ බොත්තමක්, අගුල විවෘත කිරීමේ යතුරක් හා එලාර්ම් බොත්තමක් අන්තර්ගතයි. ඊට අමතරව සමහර යතුරු වල ඩිකිය විවෘත කිරීමේ බොත්තමක්ද වේ. ඔබ බොත්තමක් එබූ විට පරිපථය මගින් නිපදවෙන ක්ෂුද්‍ර රේඩියෝ සංඥාවක් ඔබේ රථය වෙත ගමන් කරනවා දැන් රථය තුල ස්ථාපනය කොට ඇති රේඩියෝ රිසීවරය මගින් ලබාගන්නා සංඥා ඔබට ප්‍රතිචාර දක්වමින් අගුලු පද්ධතිය ක්‍රියාත්මක කරමින් රථය අගුළු ලෑම හෝ අගුළු විවෘත කිරීම සිදුකරනවා. ඔබට නොපෙනනුත් මේ රේඩියෝ සංඥාව ඔබ යතුර ක්‍රියාත්මක කරන තැන සිට අඩි 20 ක වෘත්තයක් තුළ විසිරී යනවා.

ඔබ දන්නවාද ඔබේ දුරස්ථ පාලක යතුරෙහි රේඩියෝ සංඥාව උපුටාගෙන පිටපත් කොට ගතහැකි බවත් නැවත එය විකාශය කිරීමෙන් ඔබේ රථය විවෘත කොටගතහැකි බවත් ? සාදාගත් ඉලෙක්ට්‍රොනික් උපකරණයක් මගින් එසේ පිටපත් කොටගැනීම සිදුකරන්නේ ඔබ එය අගුලු ලන අවස්ථාවේ හා අගුලු විවෘත කරන අවස්ථාවේ අඩි 20 ක් ඇතුළත රැඳී සිටිනා පුද්ගලයෙකු විසිනි. නැතිනම් ඔබ ඔබේ රථය අලුත් වැඩියාව සඳහා ගරාජයකට බාරදෙන අවස්ථාවක වැනි ඕනෑම අවස්ථාවක මෙම පිටපත් කරගැනීම සිදුවිය හැක. බොහෝවිට පැරණි රථවලට පිටින් සවිකරන අගුල් වලින් නිකුත් වන රේඩියෝ සංඥාව ඉතා පහසුවෙන් පිටපත් කරගැනීමේ හැකියාව ඇත. එමෙන්ම නවීන රථ වල අගුලු සංඥාව පිටපත් කර ගැනීම වර්ථමානයේ අපහසු කටයුත්තක් නොවේ. එයට අවශ්‍ය වන්නේ ඉලෙක්ට්‍රොනික දැනුම පමණි. බොහෝ විට මෙම අගුල ඉවත් කරගැනීමෙන් පසු මෝටර් රථයට ඇතුල් වන පුල්ගලයා තවත් උපකරණයක් අනුසාරයෙන් රථයේ diagnostic port වෙත සම්බන්ධ කරගැනීමෙන් පසු රථය පණගන්වා ඉවතට රැගෙන යයි. විවෘත කරගත් රථය නැවත පණගැන්වීමට ගතවන්නේ විනාඩි 5ක් වැනි සුළු කාලයකි.එදා කැලිෆෝනියාවේ හා තවත් ප්‍රදේශ කිහිපයක සිදුවී තිබුනේ මෙයයි.තවමත් මෙය ලංකාව තුළ ව්‍යාප්ත වී නැතත් ඉදිරි අනාගතයේදී මෙය මෙසේ සිදු නොවේ යැයි කිව නොහැක්කේ කාටද?

ඉතිං දැන් ඔබ සිතන්නේ කුමක්ද ? ඔබේ රථය තවදුරටත් ආරක්ෂාකාරීද ? ඔබගේ රථය තුළ දමායන භාණ්ඩ ආරක්ෂාකාරීද ? නවීන ඉලෙක්ට්‍රොනික තාක්ෂණයට අනුව නම් ඒවායේ ආරක්ෂාව 0% කි. එසේනම් ඔබත් මේ පිළිබඳ දැනුවත් වන්න. රථය අගුළු ලෑමට වෙනත් ක්‍රමයක් සොයාගැනීම විකල්පයක්ද ? නැතිනම් සාම්ප්‍රදායික ලීවර ක්‍රමය නැවත ක්‍රියාත්මක කරගන්නවාද ? ඔබගේ යතුර පිටපත් කරගත් කෙනෙකු ඔබගේ රථය රැගෙන ගිය හොත් ? එසේ වන්නට පෙර මේ පිළිබඳ දැනුවත් වී සිටින්න !!

හසිත හේරත් | Athirasa [ Automobile ]