දිගරොල්ලේ ප්‍රේමය | The Bridge

දිගරොල්ලේ ප්‍රේමය | The Bridge

දිගරොල්ලේ ප්‍රේමය !

මොරටුව පැත්තේ ජීවත් වෙන ඕනෑම කෙනෙක් දන්නා පාලමක් තියෙනවා , නමින් “දිගරොල්ල පාලම“. මොරටු නගරයත් හොරේතුඩුවත් යාවෙමින් මොරටු ගඟ හරහා මේ පාලම හැදෙන්න පටන්ගන්නේ 60 දශකයේදී විතර. මේ පාලම(පැරණි පාලම) වසර කීපයක් තුළ ඉදිකොට අවසන් වුවත් මේ පාලම හා බැඳුණු ගීයක් අපි තවමත් මුමුණනවා.

දිගරොල්ල පාලමේ ඉංජිනේරුවා ලෙස වැඩ කටයුතු සිදුකලේ තු.ව. කුසුම්පාල කියලා මහත්මයෙක්. වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක් වුවත් බොහෝ කවිකම් ලියූ කවිකාර ඉංජිනේරුවරයෙක් කියා හැඳින්වූවත් වරදක් නැහැ. පාලමේ වැඩට පත්වී ආ දවසේ සිට තම වෘත්තිය ඉතා උවමනාවෙන් කරමින් පාලමේ වැඩ කටයුතු අවසන් කිරීමට වෙර දරන අතරතුර තම කවි සිත අවදි කරන්නටත් මේ මහත්තයා අමතක කළේ නැහැ.

පාලම සෑදෙමින් වැඩ ටිකෙන් ටික අවසන් වන විට මොරටුවත්, හොරේතුඩුවත් යා වෙන විට ඒ ප්‍රදේශ වල ජන ජීවිත වල වෙනස් වීම තම දෑසින්ම දකිමින් සිටින අතර තුර ඔහු කවියක් ලිවීම ඇරඹුවා.

“එගොඩත් මෙගොඩත් ගම් යා කරලා 
පාලම සදා බලා සිටින්නේ 
ඔබ මා වෙත පිය නගන තුරා“

සත්‍ය පෙම්වතුන් දෙදෙනෙකු නොමැති වුවත් සිතින් මවාගත් ප්‍රේම වෘතාන්තයක් එයට ආරෝපණය කරමින් කවිපද එකිනෙක ගැලපුවා. ගීය අසන විට පාලම යනුවෙන් හැගෙන්නේ ආදරය හෝ බැඳීමක් විය හැකි ලෙස හැඟුනත්, මෙහි ඇත්තටම පාලම යනුවෙන් ලියා ඇත්තේ දිගරොල්ල පාලමයි.

“පෙර ලෙස අබලන් ඔරුවේ නැගලා
එගොඩට යන්නට ඇයිද සිතන්නේ
සිහිය විකල් වූ කෙනෙකු නියා“

ගඟ සැර වුනු දාට ගඟ හරහා ගමන් කිරීම අවදානම් බව මෙම පද පේළිවලින් හැඟුනත්, ගීය රස විඳින විට අපට හැගෙන්නේ කඩතොලු වූ ප්‍රේමයෙන් පෙම්වතිය , පෙම්වතා අතැර යන්නට වෙර දරන බවකි.

“මල්බර තුරුලිය පීදෙන කෙත් වතු
අපහට ආසිරි පවසනු වැන්නේ
වඩිනු මැනවි පා සලඹ සළා“

දිගරොල්ල පාලම (Google Maps)

පෙම්වතියට නැවත පැමි‍ෙණන ලෙස කරන ආරාධනයක් ලෙස මෙහි අවසාන පද පේළි කිහිපය හැඟුනත් , ඇත්තෙන්ම මෙහි සඳහන් වන්නේ පාලම නිසා යා වුනු නගර දෙක ලක්ෂ්මී දෙවඟනගේ පැමිණීම මෙන් වී ධනයෙන් සපිරී ඉතා දියුණු නගර දෙකක් බවට පත්විය යුතු බවයි.

දිගරොල්ල පාලම හොරේතුඩුව දෙසින්

පසු කාලයකදී මෙම පද පෙල ගුවන් විදුලියේ ස්ටැන්ලි එම්.ප්‍රනාන්දු සංගීතඥයා විසින් සංගීතවත් කරන අතර ප්‍රවීණ ගායන ශිල්පියකු වන පුන්සිරි සොයියා මහතාගේ හඬින් ගායනාවට පත් වෙනවා.

කෙසේ වුවත් ගීයක් ලෙස නිර්මාණය කිරීමේදී මෙම කවි පෙළෙහි තිබූ තවත් පද පේළි 3ක් තු.ව කුසුම්පාල මහතාගේ අනුදැණුම මත ඉවත් කොට තිබෙනවා. තු.ව. කුසුම්පාල මහතා බොහෝ ගී පද රචනය කල සාහිත්‍ය රසකාමී ඉංජිනේරු මහතෙකි.

©හසිත හේරත් | Athirasa [ Feature ]

ගීය රස විඳින්න