අලි කතාව | Story Of a Elephant
මේ කතාව මගේ තාත්තා ජීවත් වෙලා ඉන්න කාලේ මට කිවුව කතාවක්.තාත්තාගේ ගමේ සිදුවුන සිදුවීමක්.තාත්තා කුඩා කාලයේ තාත්තාගේ ගමේ මාමා කෙනෙක්ට වෙච්ච සිදුවීමක්.
අද වගේ නෙවේ ගල්ගමුව පැත්තේ අලි , ඇත්තු හරියට ඉඳලා තියෙනවා ඉස්සර.ඔය කුඹුරු අස්වැන්න ගෙට ගත්තට පස්සේ ඒ අස්වැන්න රත්තරන් වගේ පරිස්සම් කරන කාලය අලිත් ගම් වදින කාලෙලු.අලි වී සුවඳට එනවලු වී “බොන්න”.දවසක් ඔය කිවුව ගමේ මාමාගේ දුප්පත් ගෙදරටත් අලි ආවලු.වී ටික දාල තිබ්බු කාමරේ බිත්තිය හොඬෙන් ගහලා හිල් කරලා වී ටික ඔක්කෝම ඇදලා ඇදලා බීවලු.වී කන එකට වී බොනවා කියලා තමා කියන්නේ.ඉතිං අර දුප්පත් මාමා හැඬූ කඳුළින් අලියාට ටිකක් ඈතින් ඉඳන් අලියාට ඇහෙන විදියට කිවුවලු “ඇයි මගේ පුතේ දුප්පත් අපිට තිබුනු එකම වී ටිකත් බීවේ , අපි දැන් කොහොම ජීවත් වෙන්නද” කියලා.ඒක ඇහුණු අලියා කලුවරේම මාමාගේ මූණ දිහා බලන් ඉදලා දුකෙන් වගේ යන්න ගියාලු.
ඔන්න ඔහොම ඉඳලා දවස් දෙක තුනකට පස්සේ අර මාමාට ආපහු අලි ගඳ එනවාලු පිළිකන්න පැත්තෙන් .මාමා පන්දමකුත් අරන් පිළිකන්නට බහිනකොට අලි තුන් හතර දෙනෙක් ගෙයි පැත්තේ ඉඳන් කැළෑව පැත්තට ඇදෙනවාලු සද්ද නැතුවම හිමින් හිමින්. මාමා වටපිට සෝදිසි කරලා බලද්දී දැක්කේ හරිම පුදුම හිතෙන සිදුවීමක්ලු. පිළිකන්නේ තිබුන ගහක් යට මොනවද මලු වගයක් දැක්කාලු. ළඟට ගිහින් බලනකොට දෙයියනේ වී මලු වගයක්. අර ආව අලි හතර පස් දෙනාම මල්ල ගානේ හොඬේ ඔතාගෙන ඇවිත් දාලා ගිහින්. අල්ලපු ගමේ කොහින් හරි ගෙයක් බිඳලා ඒ ගෙදරක තිබුනු වී මලු ටිකක් එහෙම ගෙනත් දාන්න ඇති කියලා තමා අර මාමා තාත්තලාට කියලා තිබ්බේ.ඒකට හේතුව වෙන්න ඇත්තේ මාමා හැඬූ කඳුලින් අලියාට කිවුව කතාව වෙන්න ඕන කියලා තමා ඒ මාමලා හිතලා තියෙන්නේ.
අලින්ට , ඇත්තුන්ට හොඳ මතක ශක්තියත් තියෙනවා ඒ වගේම මිනිස්සුන් හඳුනාගන්න හොඳ හැකියාවක් තියෙනවා කියලා තමා අර මාමා නම් කියලා තියෙන්නේ.
©හසිත හේරත්