සිතුවිලි | Emotions
සිතුවිලි.
පොඩි කාලේ ඉඳං අපි පුරුදු වුනේ How are you කියලා ඇහුවම Im fine , Thank you කියන්න. ඒත් දැන් දැන් අපි “කොහොමද මචං” කියල ඇහුවම ලැබෙන පිළිතුර ” ඔන්න ඔහෙ ඉන්නවා මචං ” කියන එක. එක්කෝ “මෙලෝ රහක් නෑ බං” වගේ දුක්බර පිළිතුරු. අපිත් එහෙම කියනවා . කොච්චර ප්‍රශ්ණ ආවත් , හිතේ කොච්චර ගැටලු තිබුනත් “හොඳින් ඉන්නවා, හොඳින් ගෙවිලා යනවා ” වගේ පිළිතුරක් අපිව මොහොතකට හරි සුවපත් කරනවා , ඒක අපිටම පොඩි ප්‍රබෝධජනක අවස්ථාවක් වෙනවා.මුදල් ප්‍රශ්ණ , පවුල් ප්‍රශ්ණ , රාජකාරි ස්ථානයේ ඇති ප්‍රශ්ණ , මගතොටදී ඇතිවූ ප්‍රශ්ණ , අසනීප අපිව හෙම්බත් කරන්නේ අපිට මුලු ජීවිතේම එපා කරලා වෙන්න පුළුවන්. ඒත් අපේ චින්තන පරාසය ටික ටික හරි ප්‍රබෝධමත්ව , අපි කැමති විදිහට නම්ම ගන්න පුළුවන් නමි “ජීවත් වෙන එක” ඇත්තටම ප්‍රශ්ණයක් වෙන්නේ නැහැ.
ප්‍රශ්ණය තමාගේ නොවන තාක් කල් අපි අනෙකාට දෙන උත්තරේ හරිම රසවත් , නිර්මාණශිලී , හරිම දාර්ශණිකයි කියන කතාවේ වැරැද්දක් නැත්තේමත් නැහැ. හිතේ තියෙන දේවල් ඒ විදිහටම එළියට දාන්න අපි අමාරුයි. ඒකට අපි දන්නා වචන හෝ හැඟීම් නොසෑහෙනවා වෙන්න පුළුවන්. එක අතකට හිතේ තියෙන ප්‍රශ්ණයක් මොකටද රටේ ලෝකෙ මිනිස්සුන්ට කියන්නේ නේද ? අපි හිතනවාට වඩා මිනිස්සු කැමතියි අපි දුකින් ඉන්නවා දකින්න , අන්න ඒකයි අර මුලින් කිව්ව “හොඳින් ඉන්නවා මචං” වගේ උත්තරයක් ප්‍රභල අවියක් වෙන්නේ.
“තනි කමක් දැනීම” මොන දේ තිබුනත් සුව නොවන ලෙඩක් වගේ අපිට දැනෙනවා. අපිට තනි කමක් දැනෙන්නේ අැයි කියලා මොහොතක්වත් හිතුවද ? ප්‍රේම නොකිරීම හෝ තවමත් අවිවාහකව සිටීම එයට හේතුවක් නොවේ. අප අපගේ සිත යටින් අපි අපිවම තනිකර දැමීම එයට හේතුවයි.සිනාසී තරවෙන්න කිව්වට හිනාවෙන්න හේතු හදාගන්නත් දුකක් විඳින්න වෙනවා නම් ඒ හිනාවෙන් පලක් නෑ කියලා හිතට දැනෙනකොට අන්න අර කිවුව “තනිකම” හිතට එන්න හදනවා.
අප වටා ඇති සමාජයේ අපි අංශුවක් තරම් වත් නැහැ.ඒත් තනි අපිට පුළුවන් අර මහා සමාජයටම අභියෝග කරන්න. ඔබේ සිනහව එයට හොඳටම ප්‍රමාණවත්. ඔබේ සිනහව ලොවක් වෙනස් කරයි කියලා කතාවක් තියෙන්නේ අන්න ඒකයි.අපි අපි ගැනම හිතන් ඉන්නා විදිහට පොඩ්ඩක් වෙනස් කරලා බලමු. ඒ වෙනස මුලු ජීවිතේම වෙනස් තැනකට අරන් යාවි. පැරදුනු ප්‍රේම යුද්ධ , අතේ සතේ නැතිව රිම් එකට වැටීම , කොච්චර වැඩ කලත් රාජකාරියේදී බැණුම් ඇසීම වගේ දේවල් “ප්‍රශ්ණ කර නොගන්නා තෙක්”ඒවාට උත්තර හොයන්න ඕන වෙන්නේ නැහැ නේද ? නිවැරදි සිතුවිලි අපව නිවැරදි ගමනාන්තයකට අරගෙන යාවි. අප මහා ගෞතමයන් වහන්සේ අපිට කියා දුන්නු අටලෝ දහම අපේ හිත් නිදහස් කරලා අලුතින් පැළ හිටවගන්න පුරුදු කරනවා.
හසිත හේරත් | Athirasa [ Life ]