21.21 | මාරයාගේ හෝරාව

21.21 | මාරයාගේ හෝරාව

මාරයාගේ හෝරාව එළැබෙමින් තිබිණ. මුළු කොළඹ නගරයම දෙදරවමින් එකෙනෙහිම පුපුරා ගියේ මෙවර ජනාධිපතිවරණය කණපිට හරවන්නට නියමිතව තිබූ කොටි බෝම්බයයි. ඒ 1999 වසරේ ජනපතිවරණය නිමිති කොටගෙන යෙදී තිබුණු අවසන් රැළිය වෙනුවෙන් පැමිණ සිටි හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග ඉලක්ක කොට ගනිමින් පුපුරා ගිය මරාගෙන මැරෙන බෝම්බයයි.

1999 දෙසැම්බර් 18
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පස්වන විධායක ජනාධිපති තෝරාගැනීමේ ජනාධිපතිවරණයේ අවසන් රැස්වීම යෙදී තිබෙන්නේ අදටයි. හිටපු ජනපති සහභාගී වන පොදුජන එක්සත් පෙරමුණ විසින් සංවිධානය කරනු ලැබූ රැළිය කොළඹ නගර සභා පිටියේ සංවිධානය වෙමින් තිබිණ. රහස් පොලීසි, බුද්ධි අංශ සමග සියලු ආරක්ෂක අංශ විසින් නගර සභා පිටිය අවට ආරක්ෂාව තර කරමින් තිබිණ. ඉඳහිට ඇද හැළුණු වර්ශාව නිසා පිටිය මඩවී තිබුණත් දිවයිනේ හතර දිග්බාගයෙන් පොදුජන එක්සත් පෙරමුණු ආධාරකරුවන් වැළ නොකැඩී පැමිණෙමින් සිටියහ.

රූපවාහිනී සංස්ථාව තුළ පෙර සූදානම
සවස 4 පමණ වන විට ජාතික රූපවාහිනිය ප්‍රවෘත්ති අංශය අද දිනයේ වැදගත්ම පුවත වන හිටපු ජනපතිනියගේ අවසන් රැළිය ආවරණය කිරීමට යාම සඳහා එදිනට නියමිත කැමරා ශීල්පීන් නගර සභා පිටිය වෙත පිටත් කිරීමේ කටයුතු ළහි ළහියේ සූදානම් කරමින් සිටියේය. අශෝක ජයසේකර හා සුමින්ද අරුණලු තම සේවා මුරය වෙනුවෙන් අද ප්‍රවෘත්ති ආවරණය උදෙසා නියමිත කැමරා ශිල්පීන් විය. බීටා කැසට් කිහිපයක් හා කැමරා යුගලක්ද සහිතව අශෝක හා සුමින්ද තම කණ්ඩායම සමග වෑන් රථයට ගොඩ විය.

කොටහේනේ රහස් සූදානමක්
මේ අතර කොටහේන ප්‍රදේශයේ කෝවිලක් තුළ තවත් රහස් ක්‍රියාවක් සිදුවෙමින් තිබිණ. මොළ දෝවණය කල දමිළ කාන්තාවක් තම සංවිධානය වෙනුවෙන් ජීවිතය පූජාකිරීමේ මෙහෙයුමේ අවසන් අදියර එළඹෙමින් තිබිණ. නමින් තමිල් සෙල්වි වූ ඇය කොටි බුද්ධි අංශ ප්‍රධානී පොට්‌ටු අම්මාන්ගේ උපදෙස්‌ මත ඉලංගදීර් සහ වෛට්‌ටි නමැති කොටි බුද්ධි අංශ සාමාජිකයන්ගේ පුහුණුව මත ප්‍රහාරයකට සූදානම් වෙමින් සිටියාය. වේලාව සවස 4.00 යි

“තව පැය කීපයකින් මම මැරෙනවා. අපේ සංවිධානය වෙනුවෙන් මම ඒ දේ කරන්නෙ බොහොම කැමැත්තෙන්. මම මරාගෙන මැරෙන ප්‍රහාරයකට යන බව මගේ අම්මවත් සහෝදරයොවත් දන්නේ නැහැ. මේ කරාබු ජෝඩුවයි පාද සළඹයි මම පුංචි කාලෙ මගේ අම්මා මට දුන්නෙ. මේවා මගේ අම්මට ලැබෙන්න සලස්‌වන්න. ඒක තමයි මගේ අන්තිම ඉල්ලීම.”

පෙර දිනකදී වෑන් රථයක සඟවා කොටහේනට ගෙන මරාගෙන මැරෙන ජැකට්ටුව ඇඟලා ගනිමින් තමිල් සෙල්වි කොටහේන කෝවිලේ කුරුක්කල්ගේ බිරිඳට පැවසුවාය.

නගර සභාපිටිය එකම හිස් ගොඩක්
ජාතික රූපවාහිනී කැමරා ශිල්පීන් දෙදෙනා වූ අශෝක ජයසේකරත්, සුමින්ද අරුණළුත් තම සේවා ස්ථානයට පැමිණ රාජකාරි අරඹා තිබිණ. ප්‍රධාන පෝඩියම රූගත කිරීම සඳහා අශෝකත් සෙසු දර්ශන පටිගත කිරීම සඳහා සුමින්දත් කතිකා කොටගෙන සිටියහ. පටිගත කිරීම් ශිල්පීද ඒ අසලම විය. සවස 5 පමණ සිට නොයෙකුත් දර්ශන වලින් තම කැමරා පුරවාගත් සුමින්ද හා අශෝක බලා සිටියේ ජනපතිනියගේ පැමිණීමයි. තරුණ වුවත් රාජකාරියේ පරිනත ඔවුන් රැළියේ එකඳු රූපරාමුවක් වත් මග නොහැර ගැනීමට වගබලා ගත්හ.

මහ වැස්සක් මතින් ජනපතිනිය පැමිණේ
රාත්‍රී 7.30 පමණ වන විට මහා වර්ශාවක් ඇදහැළෙන්නට විය. ඒත් සමගම මෝටර් රථ කිහිපයක් හා ආරක්ෂක රථ කිහිපයක් සමග හිටපු ජනපතිනිය වේදිකාව අසලට සේන්දු විය. සියලු දර්ශන සුමින්දගේ කැමරාවේ මනාව පටිගත වන්නට විය. වේදිකාවට ගොඩවූ ජනපතිනිය වැඩසටහන් විස්තරයට අනුව තම කථාව ඇරඹීය.

අවසන් හෝරාව
උතුරුකරයෙන් පැමිණි ආධාරකරුවන් සමඟ ආරක්ෂන අංශවලට මුවාවී රැස්වීම් පිටියට පැමිණි තමිල් සෙල්වි සී4 සහ යකඩ බෝල කැටිකල කිලෝග්‍රෑම් දෙකකට ආසන්න බරකින් යුතු බෝම්බයද තම සිරුරේ දරාගෙන තම ගොදුර එනතුරු ඇඟිලි ගණිමින් සිටියාය. ඇයව පිටියට රැගෙන ආ සසී ක්‍රිෂ්ණා නැමැත්තා ඈව තවත් දිරිමත් කොට ඇයව වීරවරියක් ලෙස නම් කොට පිටියෙන් ඉවත් වී ඉදිරි දර්ශනය උදෙසා පිටව ගියේය. ඒ අතර ජනපතිනිය වේදිකාවේ තම කතාව අවසන් කරමින් සිටියාය. අශෝක තම කැමරාවේ සියලු දසුන් පටිගත කරමින් සිටියේය. ඒ අතර සුමින්ද සෙසු දර්ශන ලබාගැනීම උදෙසා මහා ජනකාව අසලටම ළංවී සිටියේය. ඔවුන් සමග ජාත්‍යන්තර මාධ්‍ය කිහිපයකම කැමරා ශිල්පීන් හිටපු ජනපතිනිය රූගත කරමින් සිටියෝය.

සුමින්දට හදිසියක්
පෙරදින තමන් විසින් පටිගත කළ ජයවර්ධනපුර සරසවියේ වැඩසටහනක් රූපවාහිනිය ඔස්සේ නැරඹීම සඳහා සුමින්ද නගර සභා පිටියේ සේවාමුරයෙන් පසු එහි සිටම ගම්පහ තම නිවස වෙත යෑමට සැලසුම් කොටගෙන සිටියේය.ඒ සඳහා ඔහු ළහි ළහියේ තම රාජකාරිය අවසන් කිරීමට මගබලා සිටින අතර ජනපතිනිය තම කතාව අවසන් කොට පිටත්ව සෑම සූදානම් විය. ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වීමට තිබූ විශේෂ රතුඉර නම් වැඩසටහනක් උදෙසා සහභාගි වීමට ජනපතිනිය කඩිනමින් තම කතාව අවසන් කොට තිබිණ.

රාත්‍රී 9.21
ජනපතිනිය වේදිකාවෙන් බැස තම මෝටර් රථය වෙත එන අතරමැදදී ඉන්දීය ජනමාධ්‍යවේදීනියකට ඇයව අසුවිය. කෙටි වචන කිහිපයක් ඇය වෙත ලබාදුන්නා වුවත් ඒ පමාවූ ඇසිල්ලෙන් තම ගොදුර ආසන්නයටම පැමිනි තමිල් සෙල්වි ජනපතිනියට අඩි කිහිපයක් එපිටින් ආරක්ෂක වැටේ එල්ලීම තම සිරුරේ බැඳ තිබූ බෝම්බය පුපුරවා හැරියේය. මේ සියලු දසුන් ගෙඩි පිටින් අශෝකගේ කැමරාවේ සටහන් වී තිබිණ. එක් ක්ෂණයෙන් මුළු කොළඹ නගරයම දෙදුරුම් කෑ අතර නගර සභා පිටියේ විදුලිය විසන්ධි විය.

“අශෝක!!! අශෝක!!! මට මුකුත් පෙන්නේ නෑ.. අනේ මට අමාරුයි මචං…. අශෝක……….”

” හරි හරි මචං ඔහොම ඉන්නෝ…මං එනවා……”

“අශෝක……………..මට අමාරුයි මචං….”

කරදරයක් නොවූ අශෝක තවමත් ක්‍රියාත්මක වෙමින් තිබූ කැමරාව පොළව මත තබා සුමින්ද දෙසට යන්නට විය. සුමින්ද අසලට ගිය අශෝකට අඩ අඳුරේම දැකගත හැකිවූයේ දෑස්පුරා ලේ පුරවාගෙන මොරදෙමින් නැගිටින්නට වෙර දරන සුමින්දය. බෝම්බය නිසා සුමින්දගේ දෑසටම හානිවී තිබිණ. ඒ මොහොතේ ආරක්ෂක අංශ වලින් බිමටම තෙරපී සිටීමට ලැබුනු විධානය නිසා අශෝක විසින් සුමින්දව ඒ මොහොතේ තවදුරටත් ආවරණය කරගන්නා ලදි.

තුවල ලැබ සිටි ජනපතිනිය ඒ වන විටත් රෝහල වෙත රැගෙන ගොස් සිටි අතර ජනපතිනිය වෙනුවෙන් සේවා සැපයීමට පැමිණ සිටි මෝටර් රථයක් තවමත් නගරසභා පිටියේ විය. සුමින්දව එයට දමාගත් අශෝක කඩිමුඩියේ රෝහල වෙත ගියේය.

රූපවාහිනිය කැළඹෙයි
ජනපතිනියට මෙන්ම විශේෂයෙන්ම තම සහෝදර නිළදාරියාට සිදුවී අවාසනාවන්ත සිදුවීම නිසා මේ වන විටත් ජාතික රූපවාහිනිය කැළඹී තිබිණ. බොහෝ සේවක පිරිස් කලබලකාරී තත්වය මැදම රාත්‍රියේම රෝහල වෙත යන්නට උත්සාහ ගන්නට විය.මේ අතර විටින් විට ජනපතිනියට සිදුවූ සිදුවීම නිසා ඇතිවන්නට නියමිත කටකතා විකාශය නොකර සත්‍ය තොරතුරු පමණක් වාර්ථා කිරීමට ජාතික රූපවාහිනිය ක්‍රියා කරමින් සිටියේය. මේ සිදුවීම නිසා 36 දෙනෙකු මරමුවට පත්වූ අතර 150 කට වැඩි පිරිසක් තුවාල ලබා සිටියා. මියගිය අය අතර මාධ්‍යවේදීන් දෙදෙනෙකු, උසස් පොලිස් නිළදාරියකු හා ස්වාමීන් වහන්සේ නමක් සිටියා.

බෝම්බ ප්‍රහාරය නිසා ජපතිනියගේ ජීවිතයට හානියක් සිදුනොවුනත් ඇගේ දකුණු ඇස ඇයට අහිමි තිබිණ. එමෙන්ම ජාතික රූපවාහිනී කැමරා ශිල්පී සුමින්ද අරුණලුටත් තම දකුණු ඇස අහිමි විය. අක්ෂි ශල්‍යවෛද්‍ය චරිත් ෆොන්සේකා විසින් මදක් හානිවූ සුමින්දගේ වමි ඇස කෙසේ හෝ බේරාදෙන බවට පොරොන්දු වී තිබිණි. 1999 වසර අවසන තවත් ශතවර්ශයක දොරකඩදී සුමින්දට තම කැමරා වෘත්තීයට අත්‍යාවශයම වූ දකුණු ඇස අහිමි විය. කෙසේ හෝ තවත් මාස කිහිපයක් යනතුරු ආවරණය කොටගෙන සිටි ඔහුගේ වම් ඇස නැවතත් ජීවී තත්වයට ගෙන ඒමට අක්ෂි ශල්‍යවෛද්‍ය චරිත් ෆොන්සේකා මහතා කටයුතු කළේය. ඒ 2000 වසරේ අප්‍රේල් මාසයේදීයි. සිංහල අලුත් අවුරුද්දට සුමින්ද ලද වටිනාම තෑග්ග වූයේ ඔහුගේ ඇසෙහි පෙනීමයි.

බෝම්බයට මුහුණදෙන විට තනිකඩ තරුණයෙකු වූවත් ඔහුට 2004 වසරේ ජූලි 22 මංගල සීනු නාද විය.අද වන විට දෙදරු පියෙකු වන සුමින්ද අරුණලු ජාතික රූපවාහිනියේ නිර්මාණ බොහෝ ගණනක් ” තනි ඇසින්” වර්ණ ගැන්වූවෙකි. හිටපු ජනපතිනියට මෙන්ම සුමින්ද අරුණලුටත අද දවස කෙදිනකවත් අමතක නොවනු ඇත. ඒ තම ඇස තමන්ට අහිමී වී අදට වසර 19 සම්පූර්ණ වීමය.

“ඇහැ නැතිවුනා කියලා මට ලොකුවට මුකුතු තේරුණේ නෑ. දුකකුත් නැතුවා නෙවෙයි. ඇහැක් කියන්නේ කවදාවත් ආයේ ලබාගන්න බැරි දෙයක්. ඒත් ඇහැක් පේන්නේ නෑ කියලා මං මගේ රාජකාර් මගහැරියේ නෑ. මට වෙච්ච එකම අවාසනාව කැමරා ශිල්පියෙක්ට කැමරාව හරහා පින්තූර නිරීක්ෂණයට අත්‍යාවශ්‍යම දකුණු ඇහැ අහිමි වීමයි. කැමරාව වම් ඇහෙන් නිරීක්ෂණය කරන්න මට ටික කලක් පුරුදු වෙන්න වුනා”

පසුවිපරම
1999 දෙසැම්බර් 18 වනදා නගර සභා පිටියේ එල්ල කල බෝම්බබයේ සියලු සැකකාර ත්‍රස්ථවාදීන් බුද්ධි අංශ, පොලිස් හා ආරක්ෂක අංශ එකතුව ජීවග්‍රහයෙන් අල්ලාගත් අතර නඩු විමසීමෙන් අනතුරුව ඔවුන් වසර 590 ක සිර දඬුවමකට යටත් කලා. බලෙන් එල්ටීටීඊ සංවිධානයට බඳවා ගත් තමිල් සෙල්වි මොළය සේදීම නිසා බෝම්බය පුපුරවාගනිමින්ම මියගියා. ප්‍රහාරය මෙහෙයවූ කොටි බුද්ධි අංශ ප්‍රධානී පොට්ටු අම්මාන් යුද වාතාවරණ සමයේ ගුවන් හමුදාව එල්ල කල ප්‍රහාරවලින් මිය යන්නට ඇතැයි විශ්වාස ‍කෙරේ.

අතිරේක තොරතුරු – හේමන්ත රන්දුනු විසින් දිවයින පුවත්පතට ලියූ ලිපි.

හසිත හේරත් [ Feture ]