මරාදැමූ රූමතිය | Farah3
පසුගිය මාණුෂීය මෙහෙයුම් අවධියෙහි සිට ඉතා සුප්රසිද්ධ දසුනක් වන මෙම දිරාපත් වෙමින් යන අති දැවැන්ත නෞකාව ඔබට හුරුපුරුදු ඇති. නමින් “ෆාරා 3“ වූ 1981 දී මෙළොව එළිය දුටු ඇගේ මුල් නාමය ඇරෝ විය. පසුව ඇනී පැටරාස්, රෙනියෝර්, සර්වෝස්, සර්වා, කවුකාබ් ලෙස වෙනස් වෙමින් 2004 දී ෆාරා 3 ලෙස නම් ලැබීය. ස්පාඤ්ඤයේ නිපැයුමක් වූද ජෝර්දානයේ Salam International Transport & Trading Co සතු වූද මෙම නෞකාව භාණ්ඩ ප්රවාහන විශාල නෞකාවකි. දිගින් මීටර් 149.33 වූ මෙහි උස මීටර් 12.40 ද තාර බර ටොන් 9,123 ක් විය.


2006 වසරේ දී මෙම නෞකාව ඉන්දියාවේ සිට දකුණු අප්රිකාව තෙක් සහල් ප්රවාහණය කරමින් තිබියදී ඇන්ජිමේ ඇතිවූ කාර්මික දෝශයක් මත ශ්රී ලංකාවට ආසන්න මුලතිවු මුහුදේදී හදිසි නැංගුරම් ලෑමක් කිරීමට සිදුවිය. එකලහි ශ්රී ලංකාවේ උතුරු නැගෙනහිර යුද්ධයේ උච්චතම අවස්ථාවක තිබුණු කාලයයි. අවාසනාවට ක්රියා විරහිතව තිබූ නෞකාව දෙමළ කොටි සංවිධානයේ ඇස ගැටී තිබිණ.නෞකාව වට කළ කොටි සංවිධානයේ මුහුදු කොටීන් නෞවකාවට ඇතුළු වී එය තමන් යටතට ගෙන ශ්රී ලංකාවේ මුලතිව් වෙරළට රැගෙන පැමිණියහ.

ෆාරා3
නැවෙහි කාර්ය මණ්ඩලය කිසිදු අනතුරක් නොකාට රතු කුරුස සංවිධානය වෙත භාරදුන් දෙමළ කොටි සංවිධානය නැවේ තිබූ සියලු සහල්, ඖෂධ, ආහාරපාන, ඇඳුම්, ඉන්ධන, අලෝක උපකරණ, විදුලි ජෙනරේටර් ඇතුළු අනෙකුත් සියලුම දේ තම භාවිතාව සඳහා ලබා ගත්හ. ඉන් නොනැවතුනු කොටි සංවිධානය නෞකාවේ බඳ ගලවා තම අනෙකුත් කුඩා යාත්රාවලට එකතු කොටගෙන තිබුණි. ලබාගත හැකි සියලුම නෞකා කොටස් ගලවා ගත් දෙමළ කොටි සංවිධානය ෆාරා 3 නෞකාව මුළතිවු වෙරළේ අතහැර දැමීය. 2009 දී ශ්රී ලංකා යුධ හමුදාව මෙම වෙරළ ප්රදේශය තම අනසක වෙත ලබා ගන්නා විට මෙහි දක්නට ලැබුනේ දිරායමින් තිබෙන “ෆාරා 3 රූමතියයි“.
©හසිත හේරත් | Athirasa [ Land Marks ]