මකර අඩවිය | Zhangjiajie National Forest Park

මකර අඩවිය | Zhangjiajie National Forest Park

කීරි ගැහෙන හීතලේ වැස්සකුත් එක්කම අද අපි ගියේ වුලින්ගුආන් ප්‍රදේශයේ යුඅන්ජිආජියේ උස් උල් කඳු මුදුන් බලන්න. ප්‍රධාන දොරටුවෙන් ඇතුල්වී බස් රථවලද බොහෝ දුර ගමන් කිරීමෙන් අනතරුව අපි ළඟා වුනේ ගිනස් වාර්ථා පොතටත් ගිය විදුලි සෝපාන පද්ධතිය අසලට. නමින් “බයිලෝන්”නම්වූ මෙම විදුලි සෝපාන⁣යේ වේගය තත්පරයකට තට්ටු 3ක් ගමන් කීරීමක තරම් වේගවත්ය. බයිලෝන් යන චීන නමෙහි ඉංග්රීසි තේරුම Hundred Dragons නැතිනම් මකරුන් සියය යන්නයි. සම්පූර්ණ උස මීටර් 350කට ආසන්න මෙම විදුලි සෝපානයට මුදුන ලඟාවීමට ගතවූ වෙලාව විනාඩි 2ක් පමණ විය. මෙම සෝපානයට මෙම නම යොදන්නට ඇත්තේ මෙහි එක කඳු ශිකරයක් එක් මකරෙකු නියෝජනය කිරීමක් ලෙස චීන ජාතිකයින් විශ්වාස කරන නිසා බවද දැනගන්නට ලැබිණි.

අප ගමන් කල ශිකර වල සම්පූර්ණ උස මීටර් 500කට අධික වූ අතර වලාකුළු වලින් වැසීගිය හාත්පස පරිසරය නිසා මනරම් දසුන් අවාසනවන්ත ලෙස අපගෙන් ඈත් වී ගියා. කඳු මුදුනේ සිට පහළට සුවපහසු කේබල් කාරයේ නැගී ඒමට අපට අවස්ථාව ලැබුනත් ළඟ ළඟ නොපෙනෙන සේ සම්පූර්ණයෙන්ම වැසී ගිය වළා පටලය නිසා පහත නිම්නය දැකීමේ අමිල අවස්ථාවද අපගෙන් වියැකී ගියා (ඔබට දැකීම උදෙසා අන්තර්ජාලයෙන් ලබාගත් පින්තූර කිහිපයක් මෙහි අවසානයේ එල්ලමි)

මීට වසර 5000කට පමණ ඉහතදී මෙහි ඉහත සිට පැවත එන මෙම ශිකර කෙසේ නිර්මාණය වූවාදැයි කිසිවකු නොදනී. එකල්හි මෙහි ජීවත් වූ යුඅන් හා ජායිජියේ නම් පරම්පරාව සිහිවීමට ටිඇන්සි කඳු පන්තියේ මෙම ප්‍රදේශය නම්කොට ඇති බව මා දැනගතිමි (චීන මුදල් වර්ගය වන යුවන් නම් කොට ඇත්තේද එම ජන පරම්පරාව සිහිවීමට බවද දැනගනිනට ලැබිණි). මුලු දිනය පුරාම අපි ඇවිද ගියේ කෙටි දුරක් වුවත් මෙම මුළු කඳු යාය සැතපුම් දහස් ගණනක් පැතිරී ඇති බවත් දැනගන්නට ලැබුනා. සැප්තැම්බර් මාසයෙන් පසු මෙහි වළාපටල වියැකී යන අතර සංචාරයට වඩාත් සුදුසු යැයි අපගේ මගපෙන්වන්නි වූ “එමී” කියා සිටියා.

ඔබට මතක නම් ඔබ නැරඹූ “Avatar” චිත්රපටය, “පැන්ඩෝරා” නම් වූ ගිරි ශිකර සහිත මහා වනයෙහි සමහර ගුවන් දර්ශණ මෙහි Halleluja නම් වූ ගිරිශිකර අතර රූපගත කොට තිබෙනවා. ඉතාමත් දුශ්කර කඳු යායක් වුවත් චීනයේ සංචාරක කර්මාන්තය නගා සිටුවීම උදෙසා ස්වභාවික පරිසරයට කිසිඳු හානියක් නොවන ලෙස මෙම මනරම් මකර කඳුයාය සංවර්ධනය කොට තිබුනා.

[gmap-embed id=”3173″]