දෙව්රජ | God Dadimunda
පූර්ණක නම් යක්ෂ සේනාධිපතිට දාව එරන්දතී නම් නාගමානවිකාවගේ කුසෙන් උපන් මුන් වහන්සේට දැඩි වූ සිතක් හා මුඩු වූ හිසක්ද තිබූ බැවින් දැඩිමුණ්ඩ යන නාමයෙන් හැඳින්වූ බව කියැවේ. අලුත්නුවර දේවතා බණ්ඩාර, මැණික් බණ්ඩාර, ඌවේ බණ්ඩාර, කීර්ති බණ්ඩාර, ගම්බාර , සඳුන් කුමාර යන නාමයන්ගෙන්ද හැඳින්වෙන දැඩිමුණ්ඩ දෙවියෝ පුරාණ ලංකාවේ පැතිර තිබුණු ගෝත්‍ර සතරින් ප්රබලතම ගෝත්‍ර දෙකක් වන යක්ෂ, නාග යන ගෝත්‍ර දෙකෙහිම සම්බන්ධතාවය ඇති ප්‍රබල දෙවතාත්මයකි.එදා වෙසක් මස පුර පසළොස්වක පොහෝ දින නේරංජනා නදී තීරයේදී ඇසතු බෝරුක මුල වැඩසිටි සිදුහත් තවුසාණන්ට පියවරෙන් පියවර ලෝකෝත්තර ඥනය පහළ වෙද්දී , උන්වහන්සේට බුද්ධත්වය ලබාගැනීමට ඉඩ නොදෙමියි සිතූ වසවර්ති මාරයා දස බිම්බරක් මාර සේනාව රැගෙන පැමිණි මොහොතේ එහි රැකවල් ලා සිටි සියලු දෙවි දේවතාවෝ මාර සෙනගට බියෙන් පලාගියෙන් ඒ බව දුටු වෙසමුණි , දැඩිමුණ්ඩ දෙවිඳු කැඳවා සිදුහත් කුමරුගේ ආරක්ෂාව පිණිස කැඳවා ඇත. සුදුවතින් සැරසී රන් දුන්නක් අත දරමින් දසබිම්බරක් මාර සේනාව පැරද වූ දැඩිමුණ්ඩ දෙවිඳු වසවර්ති මාරයාගේ විමානයද විනාශ කොට ඇති බව සඳහන් වේ.
සිදුහත් තවුසාණන් බුද්ධත්වය ලැබීමෙන් අනතුරුව උන්වහන්සේට නමස්කාරකොට වැඩහිඳින කල්හි බුදුරජාණන් වහන්සේ ලක්දිව බුදු සසුන වසර පන්දහස් පන්සියයක කාලයක් සුරකින්නට දැඩිමුණ්ඩ දෙවියන්ට වරම් ලබා දී ඇති අතර ඉන්පසු විෂ්ණු, ශක්‍ර, ස්කන්ධ කුමාර යන දෙවිවරුන්ගෙන්ද වෙසමුණි දිව්යරාජයාගෙන්ද වරම ලැබගත් දැඩිමුණ්ඩ දෙවිඳු නැවත ලංකාපුරය බලා පැමිණ ඇත. යක්ෂ නාග ගෝත්‍රික එකතුවකින් රාවණ පරපුරෙහි උපන් දේශීය දේවාත්මයක් වන දැඩිමුණ්ඩ දෙවිඳු යක්ෂ උවදුරු – රෝග බිය, වසංගත උවදුරු නසා නඩු පවා විසඳමින් වැරැද්දට බැට දෙමින් අසරණ ජනී ජනයා ආරක්ෂා කරමින් අළුත්නුවර දැඩිමුණ්ඩ දෙවොලේ හා කෝට්ටේ රාජමහා විහාරස්ථ දැඩිමුණ්ඩ දෙවොලේ ජීවමානව වැඩවසන දේව ආත්මයකි.
– දැඩිමුණ්ඩ දේවරුවක් ඉදිරිපිට පහත කන්නලව්ව කිරීමෙන් ඔබටත් අපල , උපද්‍රව , රෝග දුරුකොට දැඩිමුණ්ඩ දෙව් ආරක්ෂාව සපයා ගත හැකි බව සඳහන් වේ –
” පූර්ණක නම් යක්ෂ සේනාධිපතියාට දාව එරන්දතී නම් නාග මානවිකාවන්ගේ කුසින් තලගිරි කන්දේදී උපත ලබා දස දෙස බල පරාක්‍රම පැතිර වූ ඔබවහන්සේ සිදුහත් කුමරු බුදු බවට පැමිණි දා ඇති වූ මාර යුද්ධයේදී දස බිම්බරක් මාර සේනාව දැක බොහෝ බලවත් දෙවිවරුන් පවා බියවී පැනගිය කල්හි තනිවම සටන්කරමින් සිදුහත් තවුසාණන් ළඟ අභීතව රැඳී සිට උන්වහන්සේගෙන් බුද්ධ ශාසනයේ ආරක්ෂක තනතුරද ලබා අලුත්නුවර දෙවොලේ යහතින් වැඩවාසය කරන උතුම් වූ දැඩිමුණ්ඩ දේව රාජෝත්තමයාණන් වහන්ස ඇම්බැක්කේ දේවතා බණ්ඩාර යන නාමයෙන්ද සඳුන් කුමාර, ඌවේ බණ්ඩාර, මැණික් බණ්ඩාර, කීර්ති බණ්ඩාර යන නාමයන්ගෙන් පෙනී සිටින ඔබ වහන්සේට දොහොත් නගා වැඳ නමස්කාරයෙන් කියා සිටින්නා වූ කන්නලව්ව දිවකනින් අසා දිව නෙතින් බලා වදාරා අසරණ අපගේ සකලාභිවෘද්ධිය වර්ධනය කරවා අප වෙත පැමිණ ඇත්තා වූ විණ දොaෂාන්ධකාර, යක්ෂ ප්‍රේත භූත පිශාච කුම්භාණ්ඩාදීන්ගේ උපද්‍රවයන්ද තුන්දොසින් හටගත් රෝගාබාධයන්ද ග්‍රහ දොස්ද සියලු පීඩාවන්ද අද මෙවේලේ පටන් දුරින් දුරුකරවා සර්වආරක්ෂාව සලසන සේක්වා”
– පොතපත ඇසුරෙනි –
හසිත හේ්රත් | Athirasa [ Feature ]