Categories

Feature

අටවන කුමරා | Hachiko

898views

තෝකියෝ අග නගරය වටා උප නගර අතරින් එකක් තමයි “ෂිබුයා” කියන්නේ. ෂිබුයා දුම්රියපොළ අසල ඇති දඩෝරි වාඩිය මුළු මහත් ජපානයේ පමණක් නොව ලොව පුරා බොහෝ අය දැන, කියවා අැතිවාට සැක නැත.වාඩිය මැද ලෝකඩවලින් තැනු සුනඛයෙකුගේ ප්‍රතිමාවක් ඇත. ඒ ප්‍රතිමාව වටා අසුන් පනවා ඇත්තේ මිතුරු මිතුරියන් පැමිණෙන තුරු බලා සිටීම සඳහා ය. මේ සුනඛයාගේ නම “හචිකෝ’. ජපානයේ අය හචිකෝ හදුන්වන්නේ චුකෙන් හචිකෝ හෙවත් ගුණවත් හචිකෝ යනුවෙන්.

තෝකියෝවේ ෂිබූයා දුම්රිය පොළ අසල ඇති හචිකෝ පිළිරුව

තෝකියෝ අග නගරයට කිලෝ මීටර හාරසීයයක් පමණ ඈතින් පිහිටි අකිතා දිස්ත්‍රික්කයේ උපත ලද හචිකෝ තෝකියෝ නුවරට ආවේ මීට වසර අසුවකටත් වඩා ඈත කාලයකදීය. තෝකියෝ සරසවියේ කෘෂිකර්ම අංශයේ මහචාර්යවරයෙක් වූ හිදෙසබුරෝ උඑනෝ 1924 දී සුරතලයට ඇති කරන්නට යෙදුනු සුරතල් බල්ලාට හචිකෝ යන නම තැබුවේය.ඌ සිය මව් බැල්ලගේ අට වන පැටවා වූයේය. “හචි” යන්නෙහි අරුත “අට” වූ අතර “කෝ” යන්නෙහි අර්ථය කුමාරයා හෝ ආදිපාදවරයා යන්න වූයේය. ඒ අනුව “හචිකෝ” යන සම්පූර්ණ නමේ අරුත අට වන කුමරු හෝ අටවන ආදිපාදවරයා යන්නයි.

සැබෑ හචිකෝ ෂිබුයා දුම්රිය නැවතුමේදී

මහාචාර්ය හිදෙසබුරෝ සමග ෂිබුයා නගරයට ආ හචිකෝ කෙටි කාලෙකින් ම සිය ස්වාමියා සමග දැඩි ලෙස බැඳුණි. හැමදා උදයේ මහාචාර්යතුමන් සමග ෂිබුයා දුම්රියපොළට පැමිණිම උගේ සිරිත විය. සිය ස්වාමියා දුම්රියෙන් රැකියාවට නික්ම ගිය පසු නිවසට පැමිණෙන හචිකෝ සවස්වරුවේ යළි දුම්රිය පොළ අසලට ගොස් මග බලා ඉන්නේ මහාචාර්යතුමා දවසේ වැඩ රාජකාරි නිමවා ආපසු එන තුරුය. තම ස්වාමියා දුම්රියෙන් බැස ගත් විගස තම පක්ෂපාතීත්වය පෙන්වමින් ඔහු වෙත දිව ගිය හචිකෝ ඊළඟට ඔහු හා ඔහුගේ නිවෙස කරා ගමන් ගත්තේය. කිසිඳු අවස්ථාවක හචිකෝ මේ පුරුද්ද අත්හැරියේ නැත. සවස් කාලයේ ටෝකියෝ සිට දුම්රිය පැමිණෙන තුරු වේදිකාවට වී හිඳගෙන බලා සිටින හචිකෝ දුම්රිය ස්ථානයේ සේවකයන්ට ඉතා හුරු පුරුදු දර්ශනයක් වූ නමුදු දුම්රිය ස්ථානයේ සිටි මඟීන්ට කිසිම දිනෙක හචිකෝගෙන් කරදරයක් බාධාවක් සිදු වූයේ නැත. උගේ අවධානය සම්පූර්ණයෙන්ම යොමු වී තිබුණේ තම ස්වාමියා කෙරෙහිම පමණි.

හචිකෝ සහ මහචාර්යවරයාගේ පිළරුවක්

1925 මැයි මාසයේ එක් දිනයක හචිකෝ දුම්රිය පොළ අසල මග බලාසිටියද මහාචාර්යතුමන් පැමිණියේ නැත. පසු දා හචිකෝ සවස දුම්රිය එන වේලාවට මග බලා සිටියේ ය. සිය ආදරණිය ස්වාමියා පැමිණියේ නැත. ඊට පසු දිනයේ ද හචිකෝ මග බලා සිටියේ ය. එදින පමණක් නොව යළි කිසි දිනෙක මහාචාර්යවරයා නොපැමිණෙන බව හචිකෝ දැන සිටියේ නැත. සරසවියේදී හදිසි හෘද රෝගයකට ගොදුරු වූ මහාචාර්යවරයා අවසන් හුස්ම හෙළා තිබිණි. ඒ බව නොදත් හචිකෝ ස්වාමියා එනතුරු දුම්රිය පොළ අසළ මග බලා සිටියේය. සති ගණන්, මාස ගණන් බලා සිටියේය අවුරුදු ගණනාවක් ගෙවිණි. ඒත් හචිකෝ බලාපොරොත්තු අත්හැරියේ නැත.

වසර නවයක් පුරා තම ජීවිතය අවසන් වන තුරුම සෑම සන්ධ්‍යාවකම ටෝකියෝ සිට දුම්රිය පැමිණෙන වේලාවට හචිකෝ නොවරදවාම ෂිබුයා දුම්රිය ස්ථානයට පැමිණියේ තම ස්වාමියා දැකීමේ දැඩි බලාපොරොත්තුවකිනි. මහාචාර්යවරයාගේ ඥාතීන් හචිකෝ වෙනත් පවුලකට හදා ගන්නට දුන්නත් එතැනින් පලා ආ හචිකෝ යළි ලැගුම් ගත්තේ මහාචාර්යවරයාගේ නිවසේය. රන්වන් පැහැයට හුරු ලා දුඹුරු පැහැ හචිකෝ තම ස්වාමියා තවදුරටත් නිවසේ නැති බව වටහා ගන්නට ඇත. එහෙත් ඌ සුපුරුදු පරිදි දිනපතා ෂිබුයා දුම්රිය ස්ථානයට ගොස් ස්වාමියා පැමිණෙන තුරු බලා සිටියේය. දුම්රිය ස්ථානාධිපතිවරයා ද, යන එන මගීන් ද හචිකෝ ගේ කුසගිනි නිවූහ. ලද දෙයකින් සෑහෙමින් හචිකෝ සිය ස්වාමියා එනතුරු දිගින් දිගටම බලා සිටියේ ය. හචිකෝ අවුරුදු ගණනාවක් තිස්සේ මෙසේ බලා ඉන්නා බව මහාචාර්යතුමන්ගේ ශිෂ්‍යයෙකුට දැන ගන්නට ලැබිණි. ඔහු හචිකෝ ගැන තොරතුරු සොයා 1932 වසරේ තෝකියෝ පුවත් පතකට ලිපියක් ලිවිමත් සමග ම මුළු මහත් ජපානයේ ම අවධානය චුකෙන් හචිකෝ කෙරෙහි යොමු විය.

 

හචිකෝ ෂිබූයා දුම්රිය ස්ථානාධිපතිවරයා සමග

 

මියගිය හචිකෝ

හචිකෝ අයත් වූයේ “අකිටා” නම් සුනඛ වර්ගයට. “අකිටා” වර්ගයේ සුනඛයින් ස්වාමියාට ඇති පක්ෂපාතීත්වය ගැන පුළුල්ව කතා බහක් ඇති වෙද්දී ජපානය පුරා එම වර්ගයේ බල්ලන්ට අලුතින් සැලකිලි ද ලැබෙන්නට විය.

මහාචාර්යවරයාගේ මරණයෙන් පසුව ද වසර නවයක් ඔහුව දැකීමට ෂිබුයා දුම්රිය ස්ථානයට ආ ගිය හචිකෝ 1935 මාර්තු 8 දා ෂිබුයා හි වීදියක මිය ගොස් සිටියේය.

1934 අප්‍රේල් මාසයේදී ෂිබුයා වැසියෝ හචිකෝගේ ලෝකඩ පිළිමයක් තනා එය ෂිබුයා දුම්රිය ස්ථානය අසල පිහිටු වූහ. දෙවැනි ලෝක යුද්ධයේදී ඊට යම් යම් හානි සිදු වූ නමුත්, එය ප්‍රතිසංස්කරණය කොට 1948 අගෝස්තුවේදී යළි ප්‍රතිෂ්ඨාපනය කෙරිණි.

අකිටා වර්ගයේ සුනඛයෙක්

ජපානයේ කෞතුකාගාරයක හචිකෝගේ ලොම් ස්වල්පයක් සංරක්ෂණය කරමින් අදටත් ඔහු වෙනුවෙන් ජපන් ජනතාව අප්‍රේල් 8 වෙනිදා අනුස්මරණ දිනයක් සමරනවා.එදිනට ජපන් වැසියන් හචිකෝ පිළිමය අබියස සමරුවක් තබමින් ඔහුගේ ස්වාමි පක්ෂපාතීබවත්, සැබෑ ආදරයත් සිහිපත් කරනවා.හචිකෝ නම් සුනඛයා අදටත් ජපානයේ වීරවරයෙක් ලෙස ජපාන වැසියන් තම සිත් සතන් තුල ජීවමානව රඳවාගෙන තිබෙනවා.

හසිත හේරත් | Athirasa [ Feature ]

Hasitha Herath

Hasitha Herath

Head Of Athirasa.lk / Author / Content Maker