බොහෝ ප්‍රේම කතාන්දර වල සුන්දරම කොටස සරසවිය වුවත් ඒ අතරිනුත් පේරාදෙණිය සරසවියට ඇත්තේ අමිල වූ ප්‍රේමණීය වටිනාකමකි.ඒ වෙන කිසිවක් නිසා නොව. අෑතින් පෙනෙන මහා කඳුවැටියක් නිසාය. නම කී පමණින් ගත කිලිපොලා යන ප්‍රේමණීය හැගීමක් පේරාදෙණිය සරසවිය තුළට ගොඩ නොවූවෙක්ට වුවත් දැනෙන ඒ මහා කන්ද “හන්තාන“ යි. හන්තානට පායන සඳ බොහෝ සුන්දර බව බොහෝ දෙනා දනිති. හන්තාන සිහිනයක්ම වන්නේ ප්‍රේමවන්තයින්ටම පමණක් නොවේ.“හන්තානේ කතාව“ සෙලෝලොයිඩ් පටය එතරම්ම රසවත් වන්නේ එබැවිනි. මධ්‍යම පළාතේ පේරාදෙණිය, මහනුවර ට යාබදව පිහිටා ඇති මේ “ප්‍රේමණීය“ හන්තාන උසින් අඩි 3800ක් පමණ වේ.
ප්‍රේමණීය ලෙස අප සිත් තුල ඇති මේ හන්තාන නාමය අප සිතනවාට වඩා වෙනස් ආකාරයකින් ඉපැදුන් එකකි. ශ්‍රී‍්‍ර වික්‍රම රාජසිංහ සමයේ වැඩිහිටි මහ නාහිමිනමක් වූ වැලිවිට සරණංකර හිමියෝ අවුරුදු 16දී පැවිදි වුවත් අවුරුදු 50 වනතුරු උපසම්පදා ලැබීමට නොහැකි වූයේ පරසතුරු උවදුරු හේතුකොටගෙනය.උන්වහන්සේ තම දිවි රැක ගත්තේ සිරිලක බොහෝ තැන්වල සැඟවී සිටිමිනි. පසු කලෙක උපසම්පදා කර්මය සඳහා බුරුම රටෙන් (වත්මන් මියන්මාර්) භික්‍ෂූන්වහන්සේ සයනමක් වැඩම කළ අතර එම පිරිසේ නායක හිමියන් හැඳින්වූයේ “සන්තාන“, “සන්තානා“, “සංතුර්“ යන විවිධ නම්වලිනි
මල්වතු විහාරවාසී භික්‍ෂූන්වහන්සේට උපසම්පදාව ප්‍රදානය කළ බුරුම භික්‍ෂු පිරිසේ නායක “සන්තානා“ හිමි, කඳුකර පරිසරයේ භාවනායෝගිව සිටීමට කදිම ස්ථානයක් ඇතැයි සනිටුහන් කොට ගෙන රජුගේ අවසරය ලබා මහනුවර ආසන්නයේ ඇති කඳු මුදුනකට වැඩම කොට ඇත. කන්දේ ගල්ලෙන් ගණනාවක් භාවිත කළ ඒ හිමියෝ උරාගල නමින් හඳුන්වන ඉහළ කඳු මුදුනේ ගල් ගුහාවක සිටියදී මාර්ගඵල ලැබීමෙන් පසු ඒ දැනගත් පහළ ගම්මානවල ගම්වැසියෝ සන්තානා හිමි වැදපුදා ගැනීමට කඳු මුදුනට තරණය කොට තිබේ.සන්තාන හිමි වන්දනාවට ගිය බැතිමතුන්ගේ ව්‍යවහාරයට අනුව මේ කඳුමුදුන “සන්තානා කන්ද“ නමින් හැඳින්වී පසුව “හන්තාන කන්ද“ විය. මාර්ගඵල ලැබ රහත්වූ සන්තානා හිමියෝ සෘර්දි බලයෙන් සිය මව්රටට වැඩම කොට ඇත්තේ කලුරිය කිරීමට බව වත්මන් මුඛ පරම්පරාගත කථාවල සඳහන් වේ.
සන්තානා හිමියන්ට පසුව වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ද මේ ගල් ගුහාවල වැඩවාසය කොට ඇති. එමෙන්ම මේ කඳු පන්තියේ ගල් ගුහාවල ‘නිට්ටෑවන්’ නමින් හැදින්වූ මනුෂයන්ට සමාන කුරු මිනිසුන් ජීවත්ව සිටි බවද මුඛ පරම්පරාගත කථාවල ඇත. (1960 දශකයේ එම මනුෂ්‍ය කොටස් දෑසින් දැක්ක පුද්ගලයන් මෑතකදී මියගිය බව දැනගැනීමට ලැබිණ). වර්ථමාණයේ ප්‍රේමය හා ආදර බැදීම් සමග හන්තාන කන්ද එකතු කොට අපූර්ව සුන්දරත්වයක් මැවුනද, “හන්තානේ“ සැබෑ නාමය බුරුමයේ සන්තානා හිමිගේ නමින් බිඳී ආවක් බව අප දත යුතුය. රහතුන් වහන්සේ පවා වැඩ සිටි හන්තාන කන්දේ සුන්දරත්වයට වඩා ඉතිහාසය වැදගත් වන්නෙ එබැවිනි.


හසිත හේරත් | Athirasa [ Feature ]