Categories

Science & Technology

එකැස් යෝධයා | Hurricane

980views

අයං වස්සාන කාලෝ (මේ වර්ශා සමයයි) , එහෙමයි බොදු දර්ශනයේ වර්ශාව ගැන සඳහන් වුනේ.  වැස්සත් එක්කම එකටම කියවෙන අනිත් වචනය “කුණාටුව“. ගස් අඹරවමින්, ගෙවල් දොරවල් විනාශ කරමින්, යාන වාහන පෙරලා දමමින් මේ හමා යන මහා මේඝය පැයට සැතපුම් ගණන් වේගයක් උසුලනවා. මේ වන විට ඇමරිකාව වාර්ශික අත්ලාන්තික් කුණාටු ප්‍රවාහයට හසුවී තිබෙන බව අන්තර්ජාලය මගින් ප්‍රවෘත්ත් මගින් අපට දැකගන්නට ලැබෙනවා. ඉර්මා කුණාටුව ෆ්ලොරීඩාවෙන් ගොඩබිමට ඇතුල්වෙලා. අති චන්ඩ සුළං ප්‍රවාහයක් වෙමින් ගස් අඹරවමින්, අඩි ගණන් උස මුහුදු රැලි ඔතාගෙන වේගයෙන් හමාගෙන යනවා.හුළං පාරක් කියලා හිතුවාට ඇත්තටම එය මේ පිංතූරයේ මෙන් කේන්ද්‍රයක් වටා කිරි සුදුපාටින් එකතුවුන වැසි වළාකුළු රොත්තක්. මහා ගස් ගල් පෙරලාගෙන මහා යන මේ වගේ කුණාටුවක් ඇතිවන්නේ කොහොමද කියලා අපි හොයලා බලමු.

ඔබ දන්නවා සමකාසන්න රටවලට නැතිවුවත් සමකයෙන් එපිට බොහෝ රටවලට සෘතු 4ක් උදාවෙන බව.  දෙසැම්බර් සිට ජනවාරි තෙක් හිම වැටෙන ශීත සෘතුව, මාර්තු සිට මැයි තෙක් මල් පිපෙන වසන්ත සෘතුව , ජූනි සිට අගෝස්තු දක්වා පිච්චෙන ගිම්හාන සෘතුව හා සැප්තැම්බර් සිට නොවැම්බර් තෙක් කොළ හැලෙන සරත් සෘතුව ඒ සෘතු හතරයි.  එම සෘතු හතරින් කුණාටු සඳහා මුල පුරන්නේ ජූනි සිට අගෝස්තු දක්වා උදාවී තිබෙන ගිම්හාන සෘතුවයි. ඒ කාලයේදී අප්‍රිකාවේ සහරා කාන්තාරය බොහෝ සෙයින් රත්වෙමින් පෘතුවි තලයේ සංවහන ධාරා වලට බලපෑමක් ඇතිවෙනවා.  ඒ කාලය තුලදී රත්වූ පොළවේ උශ්ණත්වය විටින් විට අත්ලාන්තික් සාගරය මගින් උරාගනිමින් අත්ලාන්ති සාගරය ආශ්‍රිතව වාතයේ පීඩන කලාපයක් ඇතිවනවා. එබැවින් මුහුදු ජලය ක්‍රමයෙන් වාශ්පීකරණය වෙමින් සැප්තැම්බර් මාසය වන විට එම ක්‍රියාවලියේ උපරිම අවස්ථාවට පත්වනවා.  මෙවැනි තත්වයක් ඇතිවන්නට සාධක තුනක් සම්පූර්ණ විය යුතුයි.  ඒවා නම් උණුසුම් ජලය තිබීම, පහත් මට්ටමේ සුළං ධාරා හා වාතයේ අධික ආර්ද්‍රතාවයි. දිගින් දිගටම සිදුවන මෙම වාශ්පීකරණ ක්‍රියාවලිය නිසා අත්ලාන්තික් සාගරයෙන් ජලය ටොන් ගණන් ඉහළ අහසට ඇදී යමින් අතිවිශාල වලාකුළු යෝධයින් අත්ලාන්තික් සාගරයේ ඉහළ අහසේ ඇතිවනවා. මෙම වළාකුළු ඉහළ අහසේදී එකට එකතුවනවා. මෙම කලාපයේ පීඩනය ඉතා අඩුබැවින් මේ කලාපයට නිතරම සුළං ඇදී එනවා (පීඩන වැඩි ස්ථානයේ සිට අඩු ස්ථානයට සුළං හමයි).  සුළං වේගය පැයට සැතපුම් 39 වන විට එය සාමාන්‍ය සුළි සුළඟක් ලෙසින් හඳුන්වනවා.  ක්‍රමයෙන් වැඩි වන සුළං ප්‍රවාහය පැයට සැතපුම් 75 ඉක්මවන විට එය “සුළි කුණාටුවක්“ ලෙස හඳුන්වනවා. එකතැන භ්‍රමණය වෙමින් සුළං ධාරවන් ඔස්සේ බටහිර කලාපයට ඇදීයනවා.

සුළිකුණාටුවේ හරස්කඩක්

මෙම කුණාටුවේ විනාශකාරීම ස්ථානය වන්නේ එහි “ඇස“ ලෙසින් හඳුන්වන මධ්‍යයයි. ඒතුල සුළන් වේගය “පැයට සැතපුම්“ 200 කට ආසන්න වේ. උතුරු අර්ධගෝලයේදී මෙම සුළිය වාමාවර්ථව භ්‍රමණය වන අතර දකුණු අර්ධගෝලයේදී නම් දක්ෂිණාවර්ථව භ්‍රමණය වේ.එයට හේතුව සමකාසන්න කලාපයේ සහ පෘතුවි ධ්‍රැව අතර ඇති වායුපීඩන වෙනසයි. ජපානය, පැපුවා, පිලිපීනය ආශ්‍රිත බටහිර පැසිපික් කලාපයේදී මෙම කුණාටුව තයිපූන්” ලෙසින් හඳුන්වන අතර අත්ලාන්තික් කලාපයේදී “සයික්ලෝන්” යනුවෙන් හඳුන්වනවා. බොහෝ සුළිකුණාටු උපදින්නේ මෙම කලාප දෙක තුළ පමණි. මෙම භුමණය වන අති බිහිසුන් සුළිකුණාටුවේ ඇස ආශ්‍රිත කලාපයේ විශ්කම්භය සැතපුම් 30 ක් පමණ වේ. අධික අවපීඩයන පවතින බැවිත් දිගින් දිගටම ටොන් මිලියන ගණන් මුහුදු ජලය මේ තුලට ඇදගනු ලබනවා.මෙම අධික වේගයෙන් හමායන සුළිකුණාටුව මුහුදේදී කෙතරම් ප්‍රචන්ඩ වුවත් එය අපට දැකගැනීමට ලැබෙන්නේ ගොඩබිම් කලාපයකට ඇතුල් වූ පසුවයි. එය තුල පීඩන වෙනස අඩුවන තුරු එය තවදුරටත් නියමිත පීඩනය සොයමින් “හිස ඇරුණු අතේ“ ගමන් කරනවා. ඒ ගමන් කරන මාර්ගයේ ඇති සියලු දේ විනාශ වෙනවා.

තවත් දරුණු සුළිකුණාටුවත්

කත්‍රිනා, රීටා, මැතිවු, අයිරින්, හියුගෝ, ඉර්මා ( තව බොහෝ තිබේ) යන නම් වලින් මෙම සුළිකුණාටු හඳුන්වන අතර ඒවායේ වේගය අනුව කාණ්ඩ 4ක බෙදා දක්වනවා.වේගය පැයට සැතපුම් 74-95 පළමු කාණ්ඩය , වේගය පැයට සැතපුම් 96-110 දෙවන කාණ්ඩය, වේගය පැයට සැතපුම් 111-130 තෙවන කාණ්ඩය, වේගය පැයට සැතපුම් 131-155 සිවුවන කාණ්ඩය හා වේගය පැයට සැතපුම් 155 ට වැඩි පස්වන කාණ්ඩය යන ආකාර වලින් ඒවා ගණනය කොට තිබේ. වරකට ටොන් ගණනින් ජලය පොළවට හලමින් හමායන මේ චණ්ඩ මාරුත ඉතා විනාකාරී බව ඒවායේ වේගය අපට පසක් කරයි. අද වන විට මිනිසා සතුව ඇති නවීන තාක්ෂණය මගින් මෙම සුළිකුණාට ඇතිවීමටත් කළින් එය අනාවරණය කරගිනිමින් එහි වේගය දුර හා එයින් හානියට පත්වන කලාපය පවා හඳුනාගනු ලබනවා. එමෙන්ම අතිවිශේෂිත උපකරණ සහිත ගුවන් යානා මෙම කුණාටුවේ ඇස තුලට ගමන් කරමින් පවා සජීවීව දත්ත වාර්ථා කරනවා.

බොහෝ විනාශ සිදුකරමින් , මිනිස් ජීවිත පවා නැති කරමින් හමා යන මෙම සුළිකුණාට තම පීඩන වෙනස අඩුවූ විට කිසිත් නොකල “පූස් පැටියෙක්“ මෙන් නිහඩ වී නොපෙනී යන්නේ තවත් කුණාටුවක් මේ පෘතුවි තලයේ ඇතිවිමට තරම් අතිවිශාල වායු පීඩන වෙනසක් ඇතිකරමිනි.ඒ සඳහා මිනිසා විසින් සිදුකරන ක්‍රියාවලීන් මගින් සිදුවන වායුගෝලීය උෂ්ණත්වය ඉහළ යාම තව තවත් උදවු උපකාර වේවි.

©හසිත හේරත් | Athirasa [ Science & Technology ]

 

Hasitha Herath

Hasitha Herath

Head Of Athirasa.lk / Author / Content Maker