Categories

Kiri's Column

කිරිපුතාගේ කොලම | කේන්දරේ

925views

ඉස්කෝලේ යන දා සිට අපේ නැන්දාගේ දූ සිතා සිටියේ ඈ රවීනා තන්ඩන් , කාජල් හෝ මාධූරි ඩික්සිත් කියාය.මූණේ අමුතු අමුතු පුයර උලන, කොන්ඩේට අමුතු වැඩ කෑලි දමන ඈ හින්දි පිස්සියෙකි.නැන්දාගෙන් කිරිබොන අවදියේ සිටම ඇයට සිංහලින් දරු නැළවිලි ගී ගයා පලක් නොවු බවත් හින්දියෙන් දරුනැලවිලි ගී ගයා ඇයව නිදි කරවිය යුතුවූ බවත් නැන්දා දිනක් මා සමග කීවාය. ඇගේ රූ සපුව මනරම් බවත් එය පාසලේම හොඳම රූ සපුව බවත් ඈ සිතා සිටියාය. සුදුගමුමේ රැල්ල දමා ගස්සා පද්දා විකාර කරමින් ඇන්ද ඇයගේ සෝබන ගැන නොදත් පාසලේ අහිංසක කොල්ලෝ ඈ පසුපස නිතරම ආවාය. කොල්ලන් ඇය ඉදිරියේ රගන විට ඇය නක්කලයට සිනාසී පස්ස ගස්සා යන්න යනවාය. එවිට අර කොල්ලන් තව තවත් පස්සෙන්ම එනවාය.උන්ට ඕනා අපේ නැන්දාගේ දුවව සැට් කරගැනීමටය.එහෙත් ජීවිතේට උන්ට අපේ නැන්දාගේ දූව සෙට් කරගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැති බව මා දන්නවාය. කොල්ලන්ගෙන් අයිස් පලම් හා කෑම බීම ගෙන්වා ගන්නා ඇය කොල්ලන්ගේ දත් සැට් එකම ගලවන්නේ උඩු හක්ක හා යටි හක්ක හිරිනොවට්ටාමය. ඕ තරම් “බඩ්ඩකි“. නිතරම ගීයක් මුමුණන ඈ වරෙක රුක්මනී දේවී ගයන ගීයක් ගයන හැටි අසා සිටි අපේ අයියා මෙසේ කීවාය. “ ඕයි ඕක අහලා ඕන කියන රුක්මනී දේවී සියදිවි නසාගනී“ මා දන්නා පරිදි රුක්මනී දේවී පරලෝ සැපත් වී දැන් සෑහැනෙ කාලයක්ය.

ඉස්කෝලෙන් අවුට් වූ දා සිටම ඈට තිබුනේ පැසොන් කිරීමේ පිස්සුවය. අමුතු විච්චූරණ අදිමින් පළඳිමින් ඈ නැන්දාට වලි දමා හන්දියේ කුකුරි ක්ලාස් එකට ගියාය. මොන තරම් කුකුරි ක්ලාස් ගියාද ඇයට නිසි පදමට පපඩමක් වත් බැඳගැනීමට බැරි බව නැන්දා කීවාය. දිනක් ඈ සෑදූ පරිප්පුවක් කා ගෙදර සැමට බඩඑළියේ ගිය බවද ඉතා සන්තෝසයෙන් කියන්නට උවමනාය. කුකරි මෙන්ම , මැහුම් පන්ති යෑමද ඇගේ විනෝදාන්සය වී තිබුනි.කෙසේ වුවත් ඇගේ කල වයස පැමිණෙන බව දුටු ඇයට ඉක්මනින් මගුලක් කර දීමේ අවස්සතාව අපේ නැන්දාට හා මාමාට තිබුණි.“මේ හෝන්තුව මොකෙට්ට හරි දීල දැම්ම නම් මගේ හිත නිදහස්“ වරෙක මළ පැන සිටි නැන්ද මාමා හා කියනවා මට ඇසුනාය. නැන්දා එසේ කීවත් මටනම් නැන්දාගේ දූ ගැන කිසිම විස්වාසයක් තිබනේ නැත. ඇගේ විච්චූරණ දකිනා පාරතොටේ යන කොල්ලන් මේ වන විටත් ඇගේ පසුපස එන බව මා දන්නවාය.එහෙත් අපේ නැන්දා ලෙහෙසි පහසු ගැනියෙක් නොවේය. ඇයට කේන්දරේ තිතට උවමනාය. සිකුරු දෝෂ , කුජ දෝෂ , සෙනසුරු දෝෂ , කාලසරුප යෝග වැනි දෝශ ගැන ඈ නිතර හොයනවාය.කේන්දර සීයක් පමණ බලා අපේ අහිංසක මාමා හා විවාහ වූ නැන්දා විවාහයෙන් පසුව ජීවිතේ එන්ජෝයි කලද අපේ මාමාට නම් හෙනහුරා ලැබූ බව අපේ අම්මා මා තාත්තා සමග කියනවා මා අසා සිටියාය.

නැන්දාගේ දුවගේ කේන්දරේට අනුව ඇය ඉතා සාන්ත දාන්ත එකියක් විය යුතුය. මා දන්නා පරිදි ඈ නින්දට ගිය පසුවවත් සාන්ත දාන්ත නැත.වරෙක නැන්දාගේ ඇඳට නින්දට පැමිණ නින්දේදී පයින් පාරක් ගසා නැන්දා ඇඳෙන් බිමට දැමූ දින සිට නැන්දා නැවත ඈ සමග නිදාගන්නට ගියේ නැත.ඇගේ රාහු හිස මුදුනේද සිකුරු හතේද පිහිටා ඇති බව දිනක් ඇගේ කේන්දරේ බැලූ රතුමාමා කීවාය. ඈට මහා විශාල අඟහරුගේ දෝශයක්ද තිබෙන බව රතුමාමා කීවාය.එම නිසා තවත් එවැනිම කේන්දරයක් සොයාගත යුතු බවත් , මේ අවුරුද්ද ඉවර වීමට පෙර වහා මගුලක් කරදිය යුතු බවත් නැතිනම් ඇයට වින කර කේතුවා නම් ග්රයහයෙක් ඇය වටා කැරකෙමින් ඇයගේ විවාහය බොහෝ පහු කර දමන පැවසුවාය. ඒ ඇසූ නැන්දා බොහෝ කලබල වූ බවත් පත්තරේ ඇඩ් එකක් දමා හෝ ඇයව කාට හෝ පන්ගරාත්තු කොට දැමිය යුතු බව අපේ අම්මා සමග කියා තිබුනාය. කෙසේ වූවත් ඇයට යෝජනා කිහිපයක්ම ආවාය. එකෙකු අල්ලපු ගමේ සමූපකාරයේ සැම්සන් මාමාගේ පුතාය . හොඳින් ඉගෙනගෙන රස්සාවක්ද කරමින් සිටි සැම්සන් මාමාගේ පුතාට නැන්දා අකමැති වූයේ ඊට වඩා හොඳ කේන්දරයක් තවත් සොයාගත හැකි බවත් එම කේන්දරය ඇගේ දූගේ කේන්දරයට වඩා බලවත් එකක් යැයි කියමින්ය.ඊළඟට ආවේ පොලිස් විසේස කාර්ය බලකායේ අයියා කෙනෙක්ගේ යෝජනාවක්ය. කේන්දරේ බොහෝ ගැලපෙන බවත් ඔහු නිතරම ගෙදර නොසීටීම නිසා තම දූගේ සිකුරු බලවත් විය හැකි බවත් කිවු නැන්දා ඒ යෝජනාවද එපා කීවාය. තෙවනුව ආවේ පත්තරේ දැමූ ඇඩ් එක නිසා ආ යෝජනාවකි. ඔහු හම්බන්තොට පැත්තේ බිස්නස් මෑන් කෙනෙකි. කේන්දරේ බැලූ විට එය ගැලපුනත් හම්බන්තොට වියළි හා කර්කෂ පළාතක් නිසා එම යෝජනාවද ඩිස්මිස් වූවාය. ඒ ආකාරයට බොහෝ කේන්දර බලමින් ඒවායේ ගුණ දොස් වයමින් නැන්දා වසර අවසන් වීමට පෙර තම දූට මගුලක් කරදීමට බොහෝ වෙහෙසුනාය. ඒ අතර තුර අක්කා ටවුමට යමින් එමින් කුකරි ක්ලාස්ද මැහුම් ක්ලාස්ද තවත් විවිදාකාර දේ කරමින් කල් ගත කලාය.

දිනක් නැන්දා පරල වී කෑ ගසමින් , අඬමින් අම්මා හමුවීමට ආවාය. අක්කා ලියුමක් ලියා කොල්ලෙක් එක්කා පැන ගොස්ය. ලියුම් කරදහිය අම්මාට පෙන්නූ නැන්දා පොළවේ පස් කන්නට විය. මුන්ව ලොකු මහත් කරලා මං ඉගැන්නුවේ මේවා දකින්න කරුණා අක්කේ කියමින් නැන්දා පොළවේ පස් කමින් අක්කාගේ පලු ඇරියාය. ඇයව නැවත ගෙට වද්දා නොගන්නා බවත් ඇය මිය ගියබවත් සිතන බවත් කීවාය. නැන්දා එසේ කීවත් ඇගේ දූ ඉගෙන ගත් ඉටිගෙඩියක් නැත. විබාග ඔක්කොම ලයිට් කනු වූ අතර ඈට තිබුනේ පෙර පිනකට පහළවූ රූ සපුව පමණි. ටවුමේ පන්ති යන එනගමන් ඈ “කොල්ලෙක්“ සමග හාද වී තිබුනාය. ඔහු ඉහළ ගමේ බිස්නස් මෑන් කෙනෙකි. වයස 45ක් පමණ වූ ඔහු ග්‍රොසරියක් හා ලොරි බාග දෙකක හිමිකරුවෙකි. අතමිට මුදල් යහමින් ඇති කෙනෙකි. ඒ බව නැන්දාගේ දූ අපේ අම්මාට රහසින් හා බියෙන් ටැලිපෝන් කෝල් එකක් දී මාස දෙදකට පමණ පසු කීවාය.කේන්දරය බල්ලාට දැමූ අක්කා නියම තැනට ඇණය ගසාගෙන තිබුනාය. ඈ එතරම් කට්ට කෛරාටික එකියකි. රතුමාමා කියූ ඇය වටා කැරකුණු කේතුවා මාගේ අලුත් ලොරි මස්සිනා විය යුතුය. අක්කාට කෙසේ වෙතත් අලුත් ලොරි මස්සිනාට නම් සෙනසුරු උදාවූ බව මට සිතුනාය. ඇගේ කාල සරුප යෝගද , කුජ දෝශද අහවල් දෝශද ආගිය අතක් නැත.

ලොරි මස්සිනා හා නැන්දාගේ දූ බරට බරේ උස්සාගෙන අද උදේ නැන්දා හා මාමා බැලීමට ආවාය. මාද නැන්දාගේ ගෙදර දිව ගිය අතර ලොරි මස්සිනා හා අක්කාව උඩ පනිමින් පිළිගත් නැන්දා “ මේ පුතා අපේ දුවව පතාගෙන ඇවිත් තියෙන්නේ , මේ වගේ පුතෙක් අපිට කවදාවත් ලැබෙන්නේ නෑ “ යැයි කියමින් ඔහු ගෙනා රෙදි පිළි හා කෑම බීම දෝතින් උස්සා ගත්තාය.

මීට කිරිපුතා.

Hasitha Herath

Hasitha Herath

Head Of Athirasa.lk / Author / Content Maker