කිරිපුතාගේ කොලම | TV එක
අපේ පියා කොල්ලා කාලේ සිටම චිත්තරපටි පිස්සෙක් බව මට කීවේ අපේ අම්මාය.පියා අම්මා සමග හාද වූ කල සිටම අම්මා සමග බයිස්කෝපු බලන්න චිත්‍රපටි හෝල් වලට ගිය බවත් ඒවා ටකරන් ඒවා බවත් අම්මා අප සමග කියනවාය. ඒ තරම් අපේ පියා චිත්‍රපටි පිස්සෙකි.පරණ චිත්‍රපටි වල යටගිය තොරතුරු , ඒවායේ නළු නිළි විස්තර ගිරවෙක් මෙන් කීමට තරම් මතකයක් ඇති පියා ඒවායේ සිංදුද මතකෙන් නිතර නිතර කියනවාය.ලැට් එකට ගිය විට පියා චිත්‍රපටි ගී වල තාලයෙන් විසිල් ගසන විට අප ලැට් එකේ දොරකඩ සිට ඒවා ඉතා ආසාවෙන් අසනවාය.කොටින්ම පියා අඳින්නේ ඇවිදින්නේ පවා පරණ නළුවෙක්ගේ විලාසයෙන්ය.එය මුළු ගමම දන්නවාය.
පියා තරුණ කාලයේ චිත්තරපටි බලන්නට ගෙන තිබූ පරණ පෙට්ටි ටීවී එක දවසක් පිච්චුනාය.අපට එය මහා දුක දැනුනු දිනයක් විය.අඹ ගහේ එල්ලා තිබූ ඇන්ටනාවට පැහැදිලිව පෙනුනේ ජාතිකේ , සුවාධීනේ හා තවත් චැනල් දෙකක් පමණය.කලුසුදු රූප පමණක් පෙනුනු රූපවාහිනියෙන් මා සැමදා ආසාවෙන් කාටූන් බැලුවාය. අයියලා මැච් බැලුවාය. අක්කලා හා අම්මා නාට්ටි බැලුවාය. තාත්තා දවසේ ප්රවෘත්ති හා වැඩි වශයෙන් චිත්තරපටි බැලුවාය.පෙට්ටි ටිවී එක පිච්චුනු දා සිට මුදු ගෙදරම එකම මළ ගෙයක් මෙන් විය.එදා සිට අපේ ලිප පත්තු වූයේ නැත. ගෙයි මිදුලට අවුව වැටුනේ නැත. අපට බඩගිනි දැනුනේ නැත.
අක්කලා අයියාල මා හා අම්මා සිත හදාගත්තාද අපේ පියාට සිත සාදාගත නොහැකි විය.ප්රවෘත්තියද එදිනෙදා චිත්තරපටිය බලාගැනීමට නොහැකිවීමෙන් දස අතේ කල්පනා කරමින් සිටියාය. දිනක් පියා ත්‍රීවීල් කටුවක වහලේ ගැටගැසූ ලොකු පැතලි පෙට්ටියක්ද සමග ගෙදර ආවාය.පරෙස්සමින් බිමට බා පෙට්ටිය ලිහූ විට දැකලන්නට ලැබුනේ මහා පරිමාණයේ තැටියක් මෙන් වූ අමුතුමු යන්තරයකි. එය ෆ්ලැට් තිර ටීවී පෙට්ටියකි. එය වර්ණ එකකි. පෙර තිබූ කසිකබල් පෙට්ටිය මෙන් නොව රූප ඉතා සුන්දරය , ඇන්ටනාව ගැසූ විට එක ඩොටක් තිරයේ තිබුනේ නැත.අපේ පියා නිදන් වදුල මෙන් එය සාලයේ කොනක තැන්පත් කොට හාන්සි පුටුව ඒ අසලට ගෙන චැනල් ටියුන් කරාය.ජාතිකේ , සුවාධිනේ පමණක් නොව මෙතෙක් කල් අප නොදුටු චැනල් බර ගණනක් එයට අහුවෙන්නට විය.නැවතත් අපේ ගෙදරට ශ්‍රියා කාන්තාව ආවා මෙන් විය.
නිවාඩු කාලය නිසා මා නිතරම කාටූන් බැලුවාය.අයියාලා කලින් මෙන් ක්‍රිකට් මැච් හොය හොයා බැලුවාය. අම්මා කුස්සියේ වැඩ කරන අතරතුර එමින් යමින් පේන එකක් බැලුවාය.අක්කලා එකියක් නයෙක් ගෑනියෙන් වෙන අමුතු කතාවක් බලන්නට ආසා වී තිබූ අතර අනෙත් එකී වෙනත් චැනල් එකක ඉනිමක් ගසන කතාවක් බලන්නට පෙරේත වී සීටියාය.අයියලා නිතරම පරදින ක්‍රිකට් මැච් නිසා නිතරම ලංකා ටීම් එකට බැණ බැණ හෙණ ඉල්ලුවාය.ගලේ දේවාලේ පොල් ගැසිය යුතු බවත් අපටව ටීම් එකට දැම්මා නම් මීට වඩා ගසා පෙන්වන බවත් කීවාය.එයින් කිපුනු පියා අනේප් පලයන් ගිහින් අර පොත බලාගනින් කියමින් බැන්නාය.ලොකු අක්කා නිතරම නයා ගෑනියක් වන කතාව බලන්නට හා එම නාලිකාව දමන්නට තාත්තාට පෙරැත්තය කරමින් ඔට්ටු වූ අතර පොඩි අක්කා ඉනිමේ කතාව බැලිය යුතු යැයි කියමින් තාත්තා හා ඔට්ටු වුනාය.ඒ අතර තුර විවිධාකාර චැනල් එහෙට මෙහෙට කරමින් රිමොටය අනුබව කරන්නට වුවාය.ඒ අතර අයියලා උන්ට ඕනෑ එක දමාගන්නට විවිධ වර අක්කලාට තග දැමුවාය.අසරණ පියා ප්‍රවෘතිත් හෝ ආසා වූ චිත්රතරපටියක්ද බලාගත නොහැකිව ඔහේ බලාගත් අත බලාගෙන සිටියාය.
දිනක් සිවුදෙනා මහා යුද්ධයක් සාලය මැද ඇති කරගත්තාය. අයියලා අතින් පයින් පවා ගසාගත්තාය.හේතුව එකාට එකා බැලිය යුතු චැනල් ටීවී එකට දමාගැනීමට ඔට්ටුවීමටය.එදා නම් පියාට බොහෝ මළ පැන තිබුනාය.වහා නැගිට ගොස් දෑතටම ගත් ටීවී යන්තරය උස්සා පොළොවේ ගැසුවාය. අහෝ භේදයකි ඉරකි තිතකි. චුරුස් බුරුස් ගෑ ටීවී එක සාලය මැද අවසන් හුස්ම හෙළුවාය.එදා සිට නැවතත් අපේ ගෙදර සාමාන්‍ය තත්වයට හැරුණාය.
හසිත හේරත් | Athirasa