Categories

History

වීර ලයිකා | Laika

1.39Kviews

වර්ෂ බිලියන 4.543 ක් පමණ වූ පෘතිවියේ වයස අපගේ වයස හා සංසන්දනය කලහොත් එය නොගිනිය හැකි තරම් කුඩා එකකි. ගල් යුගයේ සිට මිනිස් ශිෂ්ටාචාරය ආරම්භවිමේ සිට මේ වන තුරු මිනිසාගේ නැගී සිටීම සෑම විටම මේ මිහිිතලයට සතා සිවුපාවාට හා ගහකොළ වලට සර්ව සාධාරණව සිදුවූවක්ද සැක සහිතය. විශ්ව මිනිසා බිහිවීම හා පෘතිවිය එකම විශ්ව ගම්මානයක් වීම ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී. අදවන විට වායුගෝලය පසාරුකරමින් ගමන් ගන්නා රොකට් යන්ත්‍ර දසදහස් ගණනින් පෘතිවි කක්ෂයේ පාවෙමින් තිබුනද ඒ සියලු දේට අතීතයත් තිබුනි.ඒ අතරිනුත් මිනිසුන් විශ්වය කරා ඇදී යාම අතිශය සංකීර්ණ සංසිද්ධියක් විය.නීල් ආම්ස්ට්‍රෝන් සඳ මත පා තැබීම මිනිස් ඉතිහාසයේ නොමියෙන සංසිද්ධියක් වන්නේ එබැවිනි.එහෙත් අප ඔබ දන්නා තවත් කෙනෙක් ඉතිහාසගත වන්නේ මානව පරපුර මේ ලොවෙන් මැකී යන දා තෙක් පවතින ලෙසය. ඒ “ලයිකා” බැල්ල ය.

රුසියාවේ අභ්‍යවකාෂ විද්‍යායතනය 1957 ඔක්තෝබරයේදී ස්පුට්නික් 01 චන්ද්‍රිකාව ගුවන්ගත කිරීමෙන් අනතුරුව ඔවුන් හැරුනේ නොවැම්බරයේ ගුවන්ගත කිරීමට සැලසුම් කොට තිබූ ස්පුට්නික් 02(රූපයේ දැක්වෙන චන්ද්‍රිකාව) ව්‍යාපෘතිය වෙතය.ස්පුට්නික් 01 මෙහෙයුම සාර්ථක ලෙස අත්හාදා බැලුනු නිසා ස්පුට්නික් 02 විශේෂ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කොට තිබුණි.එයට හේතුය එය මානව ඉතිහාසයේ නොමැකෙන මතකයක් සනිටුහන් කිරීමට නියමිතව තිබීමය.මුල්වරට පෘතිවි වායුගෝලයෙන් ඉවත කක්ෂයට පෘතිවි ජීවියෙකු ගමන් ගන්නා ඉතිහාසගත ගමන මෙයය.ඒ සඳහා ඔවුන් සුනඛයෙක් යොදාගැනීමට අදහස් කොට ගෙන තිබුනේ මීට පෙර ඔවුන් dezik සහ tsygan යන සුරතල් සුනඛයින් දෙදෙනෙකු වායුගෝලයේ උපරිම ස්ථානයට රොකට්ටුවක් ආධාරයෙන් ගමන් කරවා පැරශුටයක් ආධාරයෙන් නැවත පොළවට ගෙන්වා ගැනීම සාර්ථක ලෙස සිදුවූ නිසාය.

සයිබීරියන් හස්කි හා ටෙරියර් යන සුනඛ වර්ග මුසුවී උපත ලද ලයිකා පාරේ දඩාවතේ යමින් සිටි බැල්ලකි. වයස අවුරුදු 3 ක් පමණ වූ ඇය අභ්‍යාවකාශ ගමනට තෝරාගෙන තිබුනේ සත්ව සංවිධාන වලට හොර රහසේමය.ඇයව ඩෙසික් සහ සයිගන් නමින් ඉහත සඳහන් කල සුනඛයින් දෙදෙනා සමඟම අභ්‍යවකාශ ගමනට පුහුණු කොට තිබුනි. අධික සීතලේ තබමින්ද දින ගණනාවක් කුසගින්නේ තබමින්ද , විවිධ ඝෝෂාවන්ට ලක්කරමින්ද ඒවා සඳහා ඔරොත්තු දිය හැකි ලෙස ඇයව පුහුණු කොට තිබිණි.විශේෂයෙන් ඇය නිෂ්ශබ්ධ හා තැන්පත් සුනඛයෙකු වීම පුහුණුකරුවන්ට බොහෝ වාසියට හැරී තිබිණ.සාමාන්‍ය ආහාරයෙන් මිදී අධි පෝෂ්‍ය ජෙල් වර්ගයක් ඇගේ ආහාරය ලෙස ගැනීමට ඇයව පුහුණු කොට තිබිණ.ලයිකා ලෙස නම් කිරීමට පළමුව ඇයට බොහෝ නම් තබා තිබිනි ඒ අතර Kudryavka , Zhuchka , Limonchik යන නම් තිබූ අතර පසුව ඇය “ලයිකා” නමින් නම් කිරීමට යෝජනා විය.

 

ලයිකා බැල්ල පරීක්ෂණාගාරයේදී

 

 

මේ වන විටත් ඇමරිකා එක්සත් ජනපදය ඇල්බර්ට් 1 2 3 4 යනුවෙන් අභ්‍යවකාශ යානා හතරක් වඳුරන් සිවු දෙනෙකු සමග වරින් වර ගුවන් ගත කොට තිබුනත් ඔවුන් සියලු දෙනාම ගුවන් ගතවී මොහොතනට පෙර ජීවිතක්ෂයට පත්වී තිබුණි. ලයිකා රැගත් ස්පුට්නික් 02 ගුවන් ගතකිරීමට පෙර සියලු විද්‍යාඥයින් ඇයට හාදු ලබාදී තිබුනේ ඇය නැවත මේ මිහිතලයේ අඩිය නොතබනා බව දන්නා නිසාමය.1957 නොවැම්බර් 03 වනදා සවසක ඇය රැඳවූ රොකට්ටුව ගුවන්ගත කරන බව දැනගත් රුසියාවේ බොහෝ සත්ව සංවිධාන හා ලොව පුරා බොහෝ සත්ව සංවිධාන මහා උද්ගෝෂණ රැල්ලක් දියත් කොට තිබුනේ සත්ව අයිතිවාසිකම් මෙයින් කඩවෙන බව දැඩි ප්‍රකාෂ ගණනාවක් කියමිනි. බීබීසී සේවයේ ප්‍රවෘත්ති නිවේදකයා මේ පුවත ප්‍රකාශ කොට අවසන් වීමටත් පෙර බීබීසී සේවයේ දුරකථන සියල්ලම වාගේ නාද කරමින් සත්ව සංවිධාන සාමාජිකයින් ප්‍රකාශ කොට තිබුනේ මෙම ගමන නැවැත්විය යුතු බවය.

කෙසේ වුවත් රුසියාව මෙම ව්‍යාපෘතිය නැවැත්වූයේ නැත.1957 නොවැම්බර් 03(ඊයේ) දින ලයිකා රැගත් ස්පුට්නික් 02 ගුවන්ගත කෙරිණ. එහෙත් ඇයව නැවත ගෙන්වා ගැනීමට මෙහි තිබූ තාක්ෂණය ඉතාම අල්ප විය. ඉතා වේගයෙන් අභ්‍යවකාශය වෙත ඇදී ගිය රොකට්ටුව බිඳී ලයිකා රැදවූ කැප්සුලය සාර්ථකව පෘථිවි කක්ෂය වෙත ඇතුල් විය. පැයට සැතපුම් 18,000 ක වේගයෙන් ගමන් ගත් ස්පුට්නික් 02 කැප්සූලය විනාඩි 40 ක් තුල පෘථිවිය වටා එක් වටයක් ගමන් කරන ලදි. ඉන් මාස 4 කට පසු ස්පුට්නික් 2 නැවත පෘතිවිය වෙත පැමිණෙන විට පෘතිවි වායුගෝලයේ ගැටීම නිසා ඇතිවන අධික තාපය නිසා විනාශ වී ගියේය.

ලයිකා බැල්ල එම විනාශ වීමෙන් මරණයට පත්වන්ට ඇති යැයි බොහෝ දෙනා විශ්වාස කලත් රුසියානු ස්පුට්නික් නිරීක්ෂකයින් පවසා තිබුවේ යානය අභ්‍යවකාශගතවී පැය 6 කට පසුව ඔක්සිජන් සැපයුමේ සිදුවී තිබූ බිඳවැටීමක් නිසා එම සත්වයා මියගිය බවයි. එහෙත් 2002 වසරේදී සත්‍ය එළිවිය. රුසියානු නිරීක්ෂකයින් ව්‍යාජ තොරතුරු සපයා තිබුනේ සැබෑ තොරතුරු සඟවාගෙනය. සැබෑ ලෙසම මෙම සත්වයා මියගොස් තිබුනේ ගුවන් ගත කිරීමෙන් පැයකටත් අඩු කාලයකදීය. එයට හේතූව සත්වයා තුල ඇතිවී තිබු අධික භීතිය හා රොකට්ටුවේ අධික උශ්ණත්වය නිසා සත්වයාගේ දේහ උෂ්ණත්වය අධික ලෙස ඉහළ යාමයි.

 

ලයිකා වෙනුවෙන් ඉදිකළ සමරුව

තම ජීවිතය පරදුවට තබමින් මිනිස් සංහතිය වෙත කළ කැප කිරීම සිහිකරණු වස් ඇය වෙනුවෙන් රුසියනු හමුදා මූලස්ථානයේ මතක සමරුවක් ඉදිකොට ඇත. ඇය මරණයට පත්වූ සෑම නොවැම්බර්03 වනදාකම පෙරවරු 11 ට ඇය වෙනුවෙන් විනාඩියක නිෂ්ශබ්ධතාවක් පැවැත්වීමට බොහෝ රුසියානුවෝ පුරුදු වී සිටිති. වසර 60 ට පෙර මානව ඉතිහාසයේ අභිවෘද්ධිය උදෙසා අනන්ත අභ්‍යවකාශය බලා ඇදී ගිය “සුන්දර ලයිකා” තම අවසන් හුස්ම පොද මේ මහා විශ්වයටම පිටකරන්නට ඇති. ඉතිහාස ගත මහා වීර චරිත අතරට ලයිකා බැල්ලද එකතුවන්නේ එබැවිණි!

හසිත හේරත් | Athirasa [ History ]

Hasitha Herath

Hasitha Herath

Head Of Athirasa.lk / Author / Content Maker