Categories

Feature

මතකය අස්සෙන් | Mother’s Love

688views

මතකය අස්සෙන්

වෙනදා වගේම කිරියා කෙඳිරි ගාමින් ඇඳට පැන්නේ ඉර පායා ඇති පණිවුඩයත් රැගෙනය. කොච්චර පැත්තට තල්ලු කලත් උදෑසන මූණ ලෙව කෑම අත් නොහල කිරියා තම දිනය අරඹන්නේ මාව ඇති තරම් ලෙව කෑමෙන් පසුවය. ඉරිදා දවසක් වූ බැවින් තවත් ටික වේලාවක් නිදාගැනීමට මාගේ එකම සිහිනය විය. වෙනදා මෙන් කුස්සියට ගොස් අම්මාව බදාගෙන අම්මාගේ උදෑසන හාදුව ලබාගැනීමට අවැසි වුවත් කම්මැලිකම මා වෙළාගෙන තිබිණි. කිරියාද උණුසුමට මාගේ පපුව මට හොම්බ තබාගෙන කෙටි නින්දකට වැටී ඇත.

යමෙකු මිදුල අතුගාන හඬින් නැවත අවදි වූ මා රාත්‍රියට ඇඳි ගවුමට උඩින් දමාගත් හවුස් කෝටය සහිතව මේසය මත තිබූ වතුර බෝතලයත් රැගෙන ජනේලය ගාවට ආවේ එය විවෘත කිරීමේ අටියෙනි. ලොක් එක පැන්නූ මා ජනේල් පියන් විවෘත කළෙමි. වෙනදා මෙන් තාත්තා මිදුල අමදිමින් සිටියේය. දිනපතා උදෑසන ව්‍යායාම කිරීමෙන් අනතුරුව මිදුල අතුගෑම තාත්තාගේ සිරිතය. “මේ කෙල්ල හින්දා මට උදේට ටිකක් නිදාගන්නත් නෑ“ තාත්තා දිනක් මා සමඟ එසේ කියන විට මා, “ඉතිං තාත්තව මං ඇහැරවන්නේ නෑනේ , තාත්තා ටිකක් වැඩිපුර නිදාගන්නකෝ“ යැයි කීවෙමි. එවිට “ බෑ පුතේ මං මේ දවසක් හරි වැඩිපුර ජීවත් වෙන්න උත්සාහ කරන්නේ ඔයාවයි අම්මවයි තනිකරලා දාලා ඉක්මනට මැරෙන්න බැරි නිසා. ඔයාව කාට හරි දුන්නට පස්සේ නම් මට ඉතිං කෝමත් එකයි, එතකම් අපි කොල්ලෝ වගේ එක්සයිස් කරලා ඉන්න එපැයි“ යැයි කී හැටි මට මතකෙට නැගිණ.

“තාත්තේ අම්මා කෝ“ මා කාමරය තුළ සිට මිදුල අමදින තාත්තා ඇමතුවෙමි. “ ආ පුතා නැගිට්ටද , අම්මා පන්සලට ගියා දැන් එනවා ඇති. තේ එක කුස්සියේ ඇති“ . දුව වුවත් මා ගෙදර පුතා විය. අම්මා මෙන්ම තාත්තාද මට පුතා කීවේ ඉපදුනු දා සිටමය. අද අම්මා පන්සලට යන්න ඇත්තේ කුමන  හේතුවක් නිසාද ? පේරු දානයට තව කල් තිබේ. ලොකු හාමුදුරුවෝ එන්න කිවුවා වත්ද ? නාන කාමරයට ගොස් නා පිරිසිදු වූ මම කුස්සියට ගියේ උදේ කෑමට මොනවා හරි හදන්න බලාගෙනය. ඉරිදා වුවත් මට කරන්නට දෙයක් අම්මා ඉතිරි කොට නැත. උදෑසනම අවදි වී තිබූ ඈ වෙනදා මෙන්ම බත් සමග පරිප්පු , පොල් සම්බෝල සාදා තිබුනේ මාගේ ප්‍රියතම ආහාරය එය බැවු දන්නා නිසා විය යුතුය. නිවී තිබුනද මා තේ එක රැගෙන ඉස්තෝප්පුවට ආවේ තාත්තා සමඟ කතා කිරීමේ අටියෙනි.

මිදුල ඇමදීම අහවර කොට තිබූ තාත්තා , අම්මාගේ මල් පැළ වලට සාත්තු කරමින් සිටියේය. මා මිදුලට බැස තාත්තා සිට ඉසවුවට පියමන් කළේ ගෙවී ගිය කාලය ගැන සිතමිනි. කුඩා කල සිට මා ආදරයෙන් බලාගත් අම්මා හා තාත්තා අතැර නලින් සමඟ විවා පත් වී වෙනත් නිවසකට යාමට තවත් ඇත්තේ බොහෝ කුඩා කාලයකි. මට අම්මා හා තාත්තා නැතිව ජීවත් විය හැකිද ? අලුත් ගෙදරක , අලුත් වගකීම් ගොන්නක් සමඟ මා කෙසේ ජීවිතය ආරම්භ කරන්නද , බැංකු රස්සාවත් සමග මා කෙසේ විවාහ දිවිය රැකගෙන අඩුපාඩුවක් නොමැතිව කෙසේ දින ගෙවා දමන්නද …

“තාත්තේ , තාත්තා බරටම වැඩ වගේ “ අම්මාගේ ඇන්තූරියම් වගාව අසල තිබූ සිමෙන්ති බංකුවේ ඉඳගනිමින් මා තාත්තා ඇමතුවෙමි.

“ආ පුතා එනවා ඇහුනෙත් නෑ, මං මේ අම්මාගේ මල් වත්තට පොහොර ටිකක් දැම්මා, ඔයාගෙන් පස්සේ අම්මා මටත් වඩා ආදරේ කළේ මේ මල් පැළ ටිකටනේ“

“ඒකන්ම් ඇත්ත තාත්තේ , අම්මා පවු තාත්තා ඉස්සර රස්සාවට ගියාම ගෙදර ඉඳන් මාවත් බලාගෙන මල් පැළ නම් කොච්චර හදන්න ඇතිද , ඒ පැළ වලින් කීයක් මැරිලා යන්න ඇතිද, තාත්ත ගොඩක් අම්මට ආදරෙයි නේද ? ඒකනේ අම්මගේ මල් පැළ ටික මේ බලාගන්නේ. ඒක නෙවේ තාත්තේ අම්මා මොකෝ අද පන්සල් ගියේ ?“

“හ්ම්“ තාත්තාගේ පිටවූයේ ලොකු සුසමකි. මල් පැළ සාත්තුව මදට නැවැත්වූ තාත්තා කතාවනට මුළ පිරීය. “පුතාට මතකද පුතාගේ නූපන් අයියා ? අම්මා සෑහෙන බලාපොරොත්තු තියාගෙන බඩ පරිස්සම් කරා. හරි පරිස්සමට වැඩ පොළ කරා , කෑවා බීවා. අපි දෙන්නාම හරිම ආදරෙන් හිටියේ එයාව දකින්න. පිරිමි දරුවෙක් කියලා දැනගත්තම අම්මා තවත් ආඩම්බර වුනා. ඉස්සරලාම පුතෙක් කියලා. ඒත් මට නම් ඉස්සරලාම ඕන වුනේ දුවෙක්. අම්මා අයියාට ඇඳුම් මැහුවා , කොට්ට උර මැහුවා , මට කියලා ගේ නිල් පාටින් පාට කරා. හරිම සූදානමකින් හිටියේ අයියාව ගෙදර ගේන්න. ඒත් පුතේ මොකද්දෝ නොලැබීමකට අපිට අයියාව නැති වුනා. අම්මාගේ බඩේදිම අයියා යන්න ගියා. ඩොක්ටර්ලා නම් කිවුවේ මොකද්ද විෂබීජයක් ගිහින් කියලා. අපි දෙන්නම ඒ සිද්ධියෙන් කඩාගෙන වැටුනා. මං පස්සේ හිත හදාගත්තා. ඒත් අම්මට හිත හදාගන්න සෑහෙන දවසක් ගියා. පුතේ ඔයාව බඩට ආවට පස්සේ තමා අම්මා ආපහු මල වගේ පිපිලා ආවේ. එතකම් අම්මා හිටියේ පරවුනු මලක් වගේ. ඔයාටත් එහෙම වෙයිද කියල අම්මයි මායි සෑහෙන බයකින් හිටියේ. එත් බුදු සරණින් එහෙම වුනේ නෑ. පුතේ අද වගේ දවසක තමා ඒ දරුවා අම්මාගේ බඩේදිම නැතිවුනේ. ඔයා කතාව දන්නවානේ. අම්මා පන්සලට ගියේ අයියාව මතක් කරලා පිං පමුණුවන්න, හැම අවුරුද්දේම අම්මා තනියම පන්සලට යනවානේ අයියට පිං පමුණුවන්න“

ඔලුවේ තිබූ නොයෙකුත් දේ නිසා අද දවස අහම්බෙන් අමතක වුනත් තාත්තා එහෙම කියද්දී මගේ ඇස්වලින් කඳුළු ගලාගෙන ආවා. ඒ අම්මත් එක්ක ඉන්න තියෙන අන්තිම මාස කීපය නේද මේ ගතවෙන්නේ කියලා හිතනකොට උගුර කට වේලිලා යනවා. මට මතකයි අම්මා පොඩි කාලේ මාවත් එක්කාගෙන පන්සලට ගිහින් අයියට පිං පමුණුවනවා. අම්මා සියල්ල අත් ඇරපු කෙනෙක් , ඒත් අම්මාට තාමත් ඒ අතීතය මතක ඇති. අම්මාගේ කුසට ආපු අයියා යන්න ගියපු එක තාමත් වේදනාවක් වෙන්න ඇති. සාලයේ මහ බිත්තියේ එල්ලලා තියෙන පිරිමි ළමයාගේ චිත්‍රය ඇතුළෙන් අම්මා අදටත් අයියාව දකිනවා ඇති. අයියා අද හිටියා නම් මටත් කොච්චර හයියක්ද !! ඒත් ජීවිතය කියන්නේ මේක තමා. අයියාට මහපු ඇදුම් ඔක්කෝම අම්මා මට අන්දවන්න ඇත්තේ ඒක තමා. පොඩිකාලේ මට ගෙනාපු හැමදේම නිල්පාටින් ගන්න ඇත්තේ අම්මාට මං තුළින් අයියාව දැක්ක නිසා වෙන්න ඇති. මං කොල්ලෙක් වගේ දඟ වෙන්නත් , කොල්ලෙක් වගේ හිතන්න පතන්නත් පුරුදු වෙන්න ඇත්තේ අම්මා කොල්ලෙක්ට ආසා කරපු නිසාම වෙන්නත් ඇති. නූපන් අයියා මට වඩා ඉවසීම තියෙන ගොඩක් හොඳ කෙනෙක් වෙන්නත් ඇති. මුහුණක් නොදැක්කත් මාත් සාලයේ එල්ලලා තියෙන පිරිමි ළමයාගේ පින්තූරයෙන් මගේ අයියාව දැක්කා“

“පුතේ මොකෝ කල්පනාව “ තාත්තාගේ හඬින් මා පියවි ලෝකෙට ආවා. “ නෑ තාත්තේ මං අම්මා ගැන කල්පනා කරා“ . “ පුතේ ! ඔයාගේ අම්මා හරි අහිංසකයි , ඉස්සර මටත් කේන්ති ගියාම කෑ ගහනවා. ඒත් කවදාවත් මාත් එක්ක එකට එක කියාගෙන ඇවිත් නෑ. පොඩ්ඩ ඇත්නම් ඇඬෙනවා . ඒත් පස්සේ මං ළඟට ගිහින් අම්මාගේ ඔලුව අතාගාලා කියනවා මට සමාවෙන්න පොඩ්ඩක් කේන්ති ගියා කියලා. එතකොට අම්මා මට කියනවා සමාව ඉල්ලන් එපා ඔයා වැරදි දේකට බණින්නේ නෑ කියලා මං දන්නවා කියලා. අම්මා කොච්චර නම් මේ ගෙදර වැඩ පළ කරන්න ඇතිද , තවමත් කොච්චරවත් මේ ගෙදර වැඩමනේ පුතේ“

කොහේදෝ සිට බුරමින් පැමිණි කිරීයා නකුට වනමින් ගේට්ටුව දෙසට දිව යන අතර මාද බංකුවෙන් නැගිට්ටෙමි. ගේට්ටුවේ ලොක් එක පන්නා අම්මා සිනාසෙමින් මිදුලට ඇතුළු විය. කිරියා අම්මාගේ ඇඳුම පුරා එල්ලී හුරතල් වන්නට විය. පස් කණ්ඩිය පැන අම්මා අප දෙදෙනා සිටි දෙසට ඇවිදගන එන විට මා අම්මා දෙසට දිව ගොස් අම්මාව බදා ගතිමි. “ ආ මේ පුතණ්ඩියා ඇහරලා තියෙන්නේ , දෙන්න තිබ්බේ පස්සා පැත්තට දෙකක් , මං එද්දි ගවුම කරේ “ තාත්තා එයට නම් හූ තැබූ අතර මහ හයියෙන් හිනාවුනා.

“මෙන්න පුතේ මං පුතාට නෙල්ලි අහුලන් ආවා පන්සලෙන්“ අම්මා මල්ලේ සඟවාගෙන සිටි ඇඹුල් නෙල්ලි අහුරක් මගේ අතේ තබමින් කිවුවා !

©හසිත හේරත් | #athirasa

Hasitha Herath

Hasitha Herath

Head Of Athirasa.lk / Author / Content Maker