Categories

Land Mark

කැලේට ගිය ඉතිහාසය | Trincomalee Oil Tanks

1.31Kviews

කැලේට ගිය ඉතිහාසය.

පෘතුවියේ භූගෝලීය පසුබිමට අනුව ලොවට පහළවී ඇති ස්වභාවික වරායයන් ප්‍රමාණය අතලොස්සකි.ලෝකයේ හොඳම ස්වභාවික වරායන් අතුරින් දෙවන ස්ථානය ත්‍රිකුණාමලය වරායට හිමිවේ.ඉන්දියන් සාගරයේ තිබෙන ගොඩබිම් කලාප වල පිහිටීමට අනුව ත්‍රිකුණාමලය ලොව ආරක්ෂාව අධිකම ස්වාභාවික වරායකි.මෙහි විශාලත්වය සැලකිමේදි ගිණිකෝණින් පවුල් තුඩුවත් , වයඹ දෙසින් පේද්‍රික් තුඩුවත් අතර විහිදි පවතින අතර වරායේ මුව වව විට පළලින් සැතපුම් හතරක් පමණවේ. සැම වර්ගයකටම අයත් ජල යාත්‍රාවයන් ඕනෑම ප්‍රචණ්ඩකාරි කුණාටු තත්වයකදි උවද ඉතා සුරක්ෂිතව තබා ගැනීමට ත්‍රිකුණාමලය වරාය තුළදී හැකිවේ.

සඳහන් වූ පරිදි මෙම ලියැවිල්ල ත්‍රිකුණාමලය වරාය පිළිබඳව නොවේ. 1924 වසරේදී ඉදිකිරීම් අරඹා 1930 දී ඉදිකිරීම් නිමවූ වරාය ආශ්‍රිත වනගහනයක අක්කර 850 ක පමණ වපසරියක සැඟවී විශාල ප්‍රමාණයේ තෙල් ටැංකි පිළිබඳවයි.

පෙර සඳහන් කල පරිදි මෙම තෙල් ටැංකි ඉදිකොට ඇත්තේ මහා බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේදි බ්‍රිතාන්‍ය ඉංජිනේරුවන් අතිනි.1924 දී ඉදිකිරීම් අරඹා 1930 වන විට සියලු ටැංකි ඉදිකොට අවසන් කොට ඇත.රූපයේ දැක්වෙන පරිදි මෙම කලාපයේ විශාල ප්‍රමාණයේ දැනට තෙල් ටැංකි 99 ක් තිබේ. අංක වශයෙන් ගත් කල එය 101 ක් වුවත් 99 අංකය මඟහැර ටැංකි නම්කොට ඇත.මෙම ටැංකි ඉදිකිරීමෙදී බ්‍රිතාන්‍යයින් විසින් ඔවුන්ගේ උපරිම තාක්ෂණික විධි අනුගමනය කොට ඇත.අඟල් 2 ක් පමණ වන ශක්තිමත් තහඩු උපයෝගි කරගෙන රිවට් ඇණ මඟින් එකිනෙක සම්බන්ධ කරමින් මෙම ටැංකි ගොඩනගා ඇත.යුද්ධවලදී ඇතිවන හානි වැළැක්වීමට හා ලවණ සහිත මුහුදු සුළඟින් ආරක්ෂා වීම සඳහා ශක්තිමත් වානේ යොදාගන ඇති බව සඳහන් වේ.අඩි 45 ක් පමණ උසකින් හා වට අඩි 350 ක් පමණ වන මෙම තෙල් ටැංකියකට පිරවිය හැකි තෙල් වල “බර“ මෙට්‍රික් ටොන් 12,000 ක් පමණ වේ.දැනට ලංකා පෙට්‍රෝලියම් සංස්ථාවේ ගබඩා ධාරිතාවය මෙන් බොහෝ ගුණයකින් මෙම තෙල් ටැංකි සියල්ලේම ගබඩා ධාරිතාවය වැඩි බව සඳහන්.

මෙම ටැංකි ආශ්‍රිතව පෙට්‍රල් , ඩීසල් , භූමිතෙල් හා ගුවන් යානා ඉන්ධනද ගබඩා කොට තිබී ඇත.එමෙන්ම මෙම ටැංකි හා සම්බන්ධ දියුණු තෙල් බහාලුම් නල පද්ධතියක්ද ඇත.එවා වරායේ ජැටිය හා කෙළින්ම සම්බන්ධ වන ලෙස පෙරහන් පදධතියකින් සමන්විත පොම්පාගාර දෙකකට සම්බන්ධකොට ඇත.මෙම පොම්පාගාර දෙක තවමත් ඉතා හොඳින් ක්‍රියාත්මක වුවත් , ඒවා ඉදිකල බ්‍රිතාන්‍ය සමාගම් දෙක මේ වන විට වසා දමා ඇත.

1942 යනු දෙවන මහා ලෝක යුද්ධය පැවති සමයයි. එවකට ජර්මනියේ හිට්ලර් හා කුළුපග වූ ජපානය ජර්මනිය සමග අත්වැල් බැඳගනිමින් ඔවුන්ට විරුද්ධ සියලු රටවල් වලට යුධ ප්‍රකාශ කිරීම අරඹා තිබිණ. බ්‍රිතාන්‍යය ජර්මනියට සතුරු වූ බැවින් ජපානය බ්‍රිතාන්‍ය යටත් විජිත කොටගෙන තිබූ සියලූ දේශයන් වලට ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටියහ. ඒ අනුව ඔවුන්ගේ බෝම්බ ශ්‍රී ලංකාවටද වැටෙමින් තිබිණ. ජපනුන් කොළඹ වරායට මෙන්ම ත්‍රිකුණාමල වරායටද බෝම්බ දැමූහ. ආරක්ෂාකාරී ලෙස යුධ යාත්‍රා වරායේ තැන් තැන් වල සඟවා තිබූනිසා ඔවුන් බෝම්බ දැමීමට තෝරාගත්තේ මෙම තෙල් ටැංකි සංකීර්ණයයි. එහෙත් තෙල් ටැංකි ඉදිකොට තිබූ අමුතුම රටාව නිසා ඔවුන්ට බෝම්බ හෙලා මහා විනාශක් කිරීමට නොහැකි බව ඔවුන් වටහාගෙන තිබිණ. වරායේ තිබූ ගුවන් යානා නාශක අවියකින් නිකුත් කල ප්‍රහාරයක් නිසා ගිනිගත් ජපන් ගුවන් යානාවක් 1942 අප්‍රෙල් 09 වනදා මෙම සංකීරණයේ කෙළවරටම වන්නට පිහිටා තිබූ නොම්මර 91 දරණ ටැංකිය මතට කඩාවැටීමට සලස්වා තිබිණ.මහ හඬක් නන්වා පුපුරා ගිය ගුවන් යානාව තෙල්වලින් පිරීගිය 91 වන තෙල් ටැංකිය සම්පූරණයෙන් විනාශ කොට දැමීය.ගුවන් යානයේ අබලි බොහෝ ඈතට විසිවී ගිය අතර ගිනිගත් ටැංකිය දින හතක් පුරා බුර බුරා ගිනිගෙන ඇත.එහි තහඩු බටර් මෙන් උණු වී ඇත. පසු කාලයේදී තවත් එක් ටැංකියක් ගිනිගෙන විනාශ වී තිබුනේ බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවට අයත් ගුවන් යානාවක් කාර්මික දෝශයක් නිසා ටැංකියක් මතට කඩාවැටීමෙනි.එම ටැංකියේ අංකය පිළිබඳ සඳහනක් නොමැති අතර එහි සිමෙන්ති පාදම පමණක් ඉතිරිව ඇත.

මේ වන විට මෙම සංකීරණයේ පහළ ටැංකි සේවයෙන් ඉවත් කොට ඇති අතර ඉහළ ටැංකි පමණක් සේවාවට එක්කොටගෙන ඇති බව සඳහන් වේ.තමන්ගේ සේවාවන් සඳහා වුවත් බ්‍රිතාන්‍යයින් ලංකාවට දායාද කොට දුන් බොහෝ දේ අතර මෙම ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි වල ඉතිහාසයද එම දැවැන්ත ටැංකි මෙන් අප ඔබගේ සිත් මානයෙන් ඈතට ගොස් ඇත.

©හසිත හේරත්

Hasitha Herath

Hasitha Herath

Head Of Athirasa.lk / Author / Content Maker