Categories

Kitchen

රසවත් පුඩිමක් | Cream Caramel

1.78Kviews

හැමදාම ගෙදර තියෙන කිරිපිටි වලින් කිරියි, තේයි හදලා බොන එකේ පිටියි සීනියි කවලම් කරන් කන එකෙයි ඒ දෙක එකතු කරන් හදමුකෝ පුඩිමක්. ඕනම කිරි පිටි ජාතියක් මේකට පාවිච්චි කරන්න පුළුවන්.

ඔන්න ඕන දේවල්;

  • කිරි පිටි මේස හැඳි 5ක්
  • සීනි මේස හැඳි 10ක්
  • බිත්තර 2-3
  • වැනිලා තේ හැඳි 1
  • බටර්
  • කුරුඳු කුඩු ටිකක්
  • වතුර මිලි ලීටර් 100 – 150

හදන විදිහ –

  1. සීනි මේස හැඳි 5ක් අරන් වතුර ටිකක් දාලා සීනි කැරමල් කරගන්න.
  2. පුඩිම හදන්න ගන්න භාජනේ හොඳට බටර් ගාගන්න.
  3. කැරමල් ටික ඒ භාජනේට දාලා නිමෙන්න තියන්න.
  4. බිත්තර ටික කඩලා බ්ලෙන්ඩර් එකට දාගන්න.
  5. පිටියි සීනියි ලා රස්නේ උණු වතුරෙන් දිය කරගන්න හොඳට.
  6. දැන් ඒකත් බ්ලෙන්ඩර් එකට දාගන්න.
  7. ඊළඟට වැනිලා තේ හැඳයි කුරුඳු කුඩු ටිකයි ඒකට එකතු කරලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න.
  8. ගොඩක් වෙලා බ්ලෙන්ඩ් කරගන්න ඕන නෑ. විනාඩි 2ක් – 3ක් ඇති.
  9. දැන් අර කැරමල් දාගත්ත භාජනේට මේ මිශ්‍රණේ දාගන්න. හැබයි පෙනේරෙකින් පෙරන ගමන් දාගන්න ඕන.
  10. භාජනේ හොඳට ෆොයිල් පෙපර් එකකින් වහලා හුමාලෙන් තම්බන්න විනාඩි 45 – 60 විතර.

මතක තියාගන්න ඕන දේවල් –

  1. කැරමල් හදන් ඉවර වුණාම රයිස් කුකර් එකට හරි ඔයාලා හුමාලෙන් තම්බන්න ගන්න භාජනේට හරි වතුර දාලා ඒක රත් වෙන්න තියන්න. වතුර රත් වුණාම විනාඩි 30 – 40ක් වගේ කාලෙකින් පුඩින් එක හදාගන්න පුළුවන්.
  2. වතුර දාලා භාජනේ අඩියට තුවායක් හරි රෙද්දක් හරි දාන්න. එහෙම කළාම වතුර නටන කොට එන පීඩනය අඩුවෙලා වාෂ්ප විතරක් උඩට ඇවිත් පුඩින් එක හොඳට තැම්බෙනවා.
  3. ෆොයිල් පේපර් එකක් නැත්තන් ලන්ච් ෂීට් එකකින් වහලා හොඳට වටේ සීල් කරගන්න. හැබැයි උඩින් හිල් විඳින්න නම් එපා.
  4. තැම්බිලා ඉවර වුණාම රස්නේ යනකල් හොඳට නිමෙන්න දෙන්න. ඊට පස්සේ ශීතකරණයට දාන්න. රස්නේ පිටින්ම දැම්මොත් කැරමල් ටික ගල් වෙන්න පුළුවන්.
  5. පැය 2 – 3 ට පස්සේ පුඩින් එක අනික් පැත්ත හරවලා රස බලන්න පුළුවන්.

නදීශානි බණ්ඩාර දොඩංගොල්ල | Athirasa [ Kitchen ]