Categories

Life

රතු එළිය | Red Light

819views

වෙනදා වගේම එදාත් එළි උනා පන්ති‍යේ ළමයි කෑ මොර දෙමින් තමන්ගේ ගුරුතුමිය බලාපොරොත්තුවෙන් සිටියා. කොළඹ නාගරික කලාපයේ පිහිටා තිබූ කුඩා පාසලක් වන මෙහි වෙනදා මෙන්ම උදෑසන කාලපරිච්ඡේදය ආරම්භ වී තිබුනා.මුවග සිනහවකින් සරසාගන ගුරුතූමි පන්තියට පැමිණියා.

“ආයුබෝවන් පුතාලා “

” අද අපි ඉගෙන ගනිමු පාරේ තියන නීති රීති ගැන ” කියමින් ගුරුතුමී අළුත් පාඩමකට සැරසුනා.

” ඊට කලින් කියන්න බලන්න කවුද පාරේ තියන ට්‍රැෆික් ලයිට් දැකලා තියෙන්නේ කියලා”

නගරයට ආසන්නයේ ජීවත් වූ ළමුන්ට මෙය අලුත් දෙයක් නොවන නිසා සියළු ළමුන් එක්වරම අත් ඉස්සුවා

” ‍එහෙනම් කියන්න බලන්න ට්‍රැෆික් ලයිට් වල කොළ ලයිට් එකට ආස කවුද කියලා “

පන්තියේ වැඩිහරියක් ළමුන් අත් ඉස්සුවා…

” ඇයි ඔයාලා කොළ ලයිට් එකට ආසා ” ගුරුතුමී කොළ ආලෝකයෙන් ලබාදෙන පණිවුඩය කියා දීමට එසේ විමසුවා.

” කොළ ලයිට් එක‍ට අපිට යන්න පුළුවන්නේ , ඒකයි අපි කැමති” අත් ඔසවපු ළමයි කියන්නට වුනා.

” එහෙනම් කියන්න බලන්න කහ ලයිට් එකට කැමති කවුද කියලා ” ගුරුතුමී නැවතත් විමසුවා.

එවිට තවත් ළමයි කීප දෙනෙක් අත් ඔසවනු ලැබූවා.

” ඇයි ඔයාලා කහ ලයිට් එකට ආසා “ ගුරුතුමී කහ ආලෝකයෙන් ලබාදෙන පණිවුඩය කියා දීමට එසේ විමසුවා.

” කහ ලයිට් එකෙන් කියන්නේ අපිට යන්න සූදානම් වෙන්න කියලනේ .. 
ඒකයි අපි කැමති” අත් එසවූ ළමෝ කියන්නට වුනා.

මේ අතර එක ළමයෙක් පමණක් කොළ සහ කහ ආලෝකයන් දෙකම වෙනුවෙන් අත් ඔසවන්නේ නොමැතිව සිටි බව ගුරුතුමියට වැටහුනා.

” ‍එහෙනම් කියන්න බලන්න ට්‍රැෆික් ලයිට් වල රතු ලයිට් එකට ආස කවුද කියලා “ ගුරුතුමී අර ළමයා දෙස බලාගන කියන්න‍ට වුනා. ඒ මොහොතේ ඒ ළමයා පමණක් බිම බලාගන අත උස්සන්නට උනා

යම් ප්‍රශ්ණයකින් හිත පිරුණු ගුරුතුමිය ” ඇයි ඔය පුතා විතරක් රතු ලයිට් එකට ආසා “ කියා ආදරයෙන් ඇසුවා.

බිම බලාගත් වනම සිටි ඒ දරුවා වෙවුලන ස්වරූපයෙන් තම කටහඩ අවදි කරා

” ටීචර් !! අපේ අම්මයි මායි දෙන්නම කැමති රතු ලයිට් එකට. තාත්තා නැති උනා මේසන් වැඩකට ගිහින් උඩ ඉදං වැ‍ටිලා.එදා ඉදං අම්මා කතා කරන්නේ නෑ.අපි හංදියේ රතු ලයිට් එකට වාහන නැවැත්තුවාම වාහනයක් වාහනයක් ගානේ ගිහින් හදුන්කූරු විකුණනවා.රතු ලයිට් එකට වාහන යන්නේ නැති නිසා මම අම්මත් එක්ක හදුන් කූරු පෙට්ටියක් විකුණ ගන්න වාහන ගාවට දුවනවා. ඒත් සමහරු අම්මටයි මටයි බැනලා පන්නා ගන්නවා.ඉදලා හිටලා පෙට්ටියක් දෙකක් විකුණගන්නේ බොහොම අමාරුවෙන්.ඒත් කොළ ලයිට් එක පත්තු උනාම ඒ කාර් පිඹලා යනවා.ආයෙත් රතු ලයිට් එක පත්තු වෙනකම් මම අම්මත් එක්ක අවුවටම වෙලා බලාගන ඉන්නේ තවක් එකක් විකුණ ගන්න පුළුවන්ද බලන්න.ඒත් මිස් ලොකු ලොකු කාර් වලින් එක මහත්තුරුන්ට හදුන්කූරු මොකටද නේද ?? “

දරුවා ඇ‍ඩෙන නොඇඬෙන ගණනට බිම බලාගන කියන්නට වුනා … කවදාවත් ළමයින්ගේ සිත් සමග කතා කර නොතිබූ ගුරුතුමීගේ දෙනෙතින් කදුළු කැට බිමට වැටුනා.

” පුතේ !! කෝ ඔයාගේ අම්මා දැන් ?” ගුරුතුමී දුක්බරව විමසා සිටියා.

” අම්මා තාමත් හංදියේ රතු ලයිට් එක පත්තු වෙනකොට වාහනයක් ගාව‍ට දුවන් එනවා ඇති මිස් “ දරුවා කදුළු පුරවාගත් දෑසින් යුතුව අසරණව කියා සිටියා

හසිත හේරත් | Athirasa [ Life ]

Hasitha Herath

Hasitha Herath

Head Of Athirasa.lk / Author / Content Maker