අවසානය | Ending of Kashyapa

අවසානය | Ending of Kashyapa

“රජතුමනි අපි අපට බොහෝ මහන්සියි.වන්දනාවේ යාම නිසා බොහෝ තෙහෙට්ටුව අප සියලු දෙනාටම දැනෙමින් තිබේ.අප මදක් නැවතී නැවත ගමන් අරඹමුද ?” වන්දනාවේ යාමෙන් ඇතිවූ තෙහෙට්ටුව නිසා මල් රැගත් කාන්තාවන් අසල සීතල දිය ගොබයේ සිසිල් පැන් ස්නානය ඇරඹුවා.ඒ අතරතුර කාශ්‍යප රජතුමා තම ස්මාර්ට් දූර කථනය ගෙන මුහුණු පොත්ගුලට පිවිසුනා. දුරකථන ජාලයේ ඇතිවූ දෝශයක් නිසා අන්තර්ජාලය හා සම්බන්ධ වන්නට සිදුවූවේ කඩින් කඩ ඇතිවන වරුසාව මෙනි. මෑතකදී වැඩි කහවනු ප්‍රමාණයක් දී මිළදී ගත් ඈපාල 10 ස්මාර් දූර කථනයේ තිබෙන් සමහර ඔප්ශන් පෙර භාවිතා කල අන්දරොයිද ස්මාර්ට් දූර කථනයේ පෙර සිටම තිබූ බව වැටහුනා. තමාව ඇන්දූ ඩිජිටාල පුත්ත තිස්ස ඇමතියාට සිතින් බණිමින් මුහුණූ පොත්ගුලේ ඉහළ සිට පහළට යාම ඇරඹුවා.

කෙටි වේලාවකින් ස්නානය කල ළඳුන් දිය බේරෙන වතින් නැවත ගොඩබිමට පැමිණියා.රජතුමා දේවිය සමඟ කෙටි පිළිසඳරක යෙදී සිටියා.සවස ගෙදර එන විට ගෙන ආ යුතු අඩුම කුඩුම ගැන දේවිය රජුට පවසමින් සිටියා.නැවතත් අසුමත නැගි රජු මල් ගෙන එන ළඳුන් සමඟ ගමන ඇරඹුවා.

“රජතුමනි අර බලන්න සිල් රෙදි හැඳගත් කාන්තාවන් පිරිසක්, දකින්නටත් ආසායි. අපේ සිත් නිවී යන දර්ශණයක් ඔබතුමා නැරඹිය යුතුමය”

“ස්ත්‍රීනි ! ඔය කාන්තාවන් හැඳ යන්නේ සිල් රෙදි නොවේ නඩු භාණ්ඩයි, ඔවා දෙස බැලීමත් සිරේ විළංගුවේ වැටීමට කාරණාවකි. වහා අඩිය ඉක්මන් කරව”

රජු හා ස්ත්‍රීන් ඉදිරියටම යන විට ඉතා වේගයෙන් පැමිණි නවීන පන්නයේ මෝටර් රථයක් තමා හා පිරිවර පසුකරන් ගොස් ඉදිරියේ තිබූ පන්සලේ නවත්වනවා දුටු රජතුමා ඒ පිළිබඳව තම අවධාන යොමුකරන්නට විය. එම නවීන රථයේ ඉදිරි අසුනෙන් බිමට බැස්සේ මහා සඟරුවනකි. එමෙන්ම එම වත්තේ තවත් එවැනිම නවීන පන්නයේ මොටර් වාහන නවත්වා තිබෙනු රජතුමා දුටුවේය. ඉතා සැප විඳින සංඝයා වහන්සේලා පිරිසක් මෙහි ඇති බව වටහා ගනිමින් එයට ගත යුතු ක්‍රියාමාර්ග ගැන සිතමින් රජු නැවතත් ඉදිරිටය ගමන් ඇරඹීය.

ඉදිරියට පැමිණෙන විට මාර්ගය අවුරා එකම ගාල ගෝට්ටියක ලකුණු පෙනෙන්ට තිබිණ.හාත්පස විස දූමයක් පැතිරෙමින් තිබූ අතර තමාගේ දෑස පිච්චී කඳුළු ගලන සේයාවක් දැනෙන්නට විය.තමාගේ මල් ස්ත්‍රීන්ද දෑස් වසාගන්නට වෙර දරන බව පෙනෙන්ට වූයෙන් රජතුමා මාර්ගය වෙනස් කරන්නට යුහුසුළු විය.එය විශ්ව විද්‍යාල සිසුන් හා පොලිසිය අතර ගැටුමක් බව රජුට වහා අවබෝධ විය.

මාර්ගය වෙනස් කරමින් ඉදිරියට යන විට ඈතින් දුටුවේ සිත නිවී සැනසී යන දසුනකි. කසාවත පැළඳි මහා සඟරුවනක් පිඬුසිඟා වඩිමින් සිටිති. රජ ඈත සිටම අසුපිටින් බසින්නට සැරසෙත්ම ප්‍රශ්ණයක් මතුවිය. මේ වස් සමයේ කුමට පිඬුසිගා වැඩිය යුතුද ?. සංඝයා වහන්සේ වට කරමින් බඩතඩි සුදු ඇඳගත් මිනිසුන් පිරිසක්ද ඇවිදිමින් යන බව දුටු සිදුවන්නේ කුමක්ද යැයි ඈත සිටම නිරීක්ෂණය කලේය. මිනිසුන් පාත්‍රවලට ආහාර නොදමන අතර මුදල් දමමින් සිටිති.ඉඳහිට හෝ ආහාර දැමුවහොත් වටෙන් පැමිණෙන ගිහිපිරිස් එම පාත්‍රවලට අතයොමා අර ආහාරය රැගෙන විසිකරමින් සිටිති.

“රජතුමනි ඇයි අර ස්වාමින් වහන්සේලා මුදල් පිඬුසිගා වඩින්නේ?”
” ස්ත්‍රීනි ! ඔබ දැනගත යුතුය ඒ ස්වාමින් වහන්සේලා ඒ මුදල් පිඬුසිගා වඩින්නේ ලක්දිව අසරණ පවුල්වලට ආධාර කිරීමටයි,බලන්න තමාට සිදුවන පව ගැනවත් නොසිතා උන්වහන්සේලා ඒ කරන ක්‍රියාවේ වටිනාකම”

තවත් ඉදිරියට යන පිරිසට දැකගන්නට ලැබුනේ අළුත බන්ධනයට ලක්වූ මංගල යුවලකි.යුවළ ඉදිරියට පැමිණෙමින් සිටි අතර පසුපසින් දැකගන්නට ලැබුනේ එම ස්ත්‍රියගේ පස්චාත් භාගයෙන් ඇදීගිය දිගු රෙද්දකි.එය සිප් සලක දැරිවියන් රොත්තක් විසින් ඔසවාගෙන සිටියේ ගිනි අව්වේ පිළිස්සෙමිනි. සමහර දැරියන් සිහි මෘඡා වී මාර්ගයේ තැන තැන වාඩිගෙන පවා සිටියහ. මෙවන් විනෝදාත්මක දේ නරඹමින් රජ තෙමේ ඉදිරියටම ගමන් කරමින් සිටියේය.

මේ වන විට සීගිරිය පර්වතය පේන මානයට පිරිස පැමිණ තිබිණි. සීගිරියට ඇතුල් වන ස්ථානයේ තිබූ පොලිස් ආරක්ෂක මුරපොළ දුටු කාශ්‍යප රජුට දෙලෝ රත්විය.උඩුකය නිරුවත්ව තමා සමඟ පැමිණෙන මල් ගෙනයක ස්ත්‍රීන් සිහිවිය.මුහුණු පොතේ දුටු පුවත නිසා රජුව තිගැස්මට ලක්වී තිබිණි.

“ස්ත්‍රීනි ! වහා ඔය “තන” වසා ගනු නැති නම් ගස්වලට මුවා වී කැලෑපාරෙන් මාළිගාවට පැමිණෙව, පොලෝසිය දුටුවහොත් මා ස්ත්‍රීන් සමඟ අනාචාරයේ හැසිරෙන්නේ යැයි කියා මා නොඅනුමානව හිරේ විළංගුවේ දමනු ඇත. මාගේ අයිඩී කාඩ් පතද මා සමඟ නැත.වහා පිටවෙව. දේවියට පවසව , මා උතුරු මාර්ගයෙන් පැමිණෙමි !!

යැයි පවසමින් උතුරු මාර්ගය ඔස්සේ අසු පදවමින් රජතෙමේ නොපෙනී ගියේය.

©හසිත හේරත්