අමුතු ආදාහනය | Sky Burial
“උපන්නොත් යම් කෙනෙක් මෙලොවේ මරණයක් කොටා ඇත නළලේ“ මරණය කාටත් පොදු දෙයකි. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් වුවත් අප ඔබගේ කුමන හෝ සමීපතමයෙක් මරණයට පත්වී අපගෙන් වෙන්වී ගොස් ඇතුවාට සැක නැත. අපගේ සමාජය තුල අවමංගල්‍ය චාරිත්‍ර වඩා සංකීර්ණ ස්වභාවයක් ගත්තත් ලොව සමහර රටවල් වල අවමංගල්‍ය චාරිත්‍ර අමුතුම ස්වරූපයක් ගන්නවා. ඒ ආකාරයේ අමුතුම අවමංගල්‍ය ආදාහන චාරිත්‍රයක් අනුගමනය කරන රටකි ටිබෙටය.
හිමාල සීමාවේ ඇති ලොව උසම ස්ථානයේ පිහිටා ඇති රට වන්නේ ටිබෙටයයි. සරල දිවිපෙවතක් අනුගමනය කරන ටිබෙට් වැසියෝ තම සමීපතමයකු මරණයට පත්වූ පසු එම මෘත ශරීරය සුදු රෙදි කඩකින් ඔතා තම නිවසේ දින 3ක් හෝ 5ක් තබා ගනී. බුදු දහමේ විස්තර වන ආකාරයට නැවත ඉපදීම තදින් විශ්වාස කරන ටිබෙට් වැසියන් මිය ගිය තම ඥාතියා වෙනත් සිරුරක් වෙත ගමන් කරන තුරු මෙසේ දින කිහිපයක් නිවසේ තබා ගන්නා බව පැවසේ. දින 5ක් අවසානයේදී ටිබෙටයේ කඳුකර පළාතකට මෙම මෘත ශරීරය රැගෙන පැමිණේ. නමුත් ඔවුන් භූමදාන කිරීමක් හෝ ආදාහනය කිරීමක් සිදු කරන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් “ආකාස ආදාහනයක්“ සිදුකරති.
කඳුරක පෙදෙසේ විවෘත ස්ථානයකට රැගෙන පැමිණෙන මෘත ශරීරය නිරුවක් කර පළමුව පුද්ගලයින් කිහිප දෙනෙකු විසින් හමගසනු ලැබේ. ඉන්පසුව සිරුරේ මස් පිඩු වැඩි ස්ථාන වලින් ගැඹුරු කැපුම් කිහිපයක් යොදනු ලැබේ. පසුව එම විවෘත ස්ථානයට දසතින් පැමිණෙන ගිජු ලිහිණියන්ට මෙම මෘත ශරීරය ආහාරය සඳහා අත් හරිනු ලැබේ. වටපිටාවෙන් පියඹා පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත ගිජුලිහිණයන් විනාඩි කිහිපයක් තුල මෘත ශරීරය ඇටකටු පමණක් ඉතුරු වන ලෙස සම්පූරණයෙන් අනුභව කරනු ලැබේ. ගිජුලිහිණයන් ඉවත්ව ගියපසු ඉතුරුවූ ඇටකටු තලා කුඩු බවට පත්කරන අතර ඥාතීන්ට අවශ්‍ය නම් එම කුඩු වලින් ස්වල්පයක් රැගෙන ගියහැකි අතර ඉතිරිවා වාතයේ පාවී යන්නට කඳුමුඳුන කෙළවරට ගෙනගොස් දමති.
ටිබෙටයේ පොළව දැඩිවීම නිසා සෑම තැනම වලවල් හාරා භූමදාන කිරීමට ඇති නොහැකියාවත්. ආදාහනය කිරීමට අවශ්‍ය දර සපයාගැනීමට ඇති නොහැකියාවත් නිසා මෙම ආකාස ආදාහනය අතීතයේ සිට මෙ දක්වා ටිබෙටයේ අවමංගල්‍ය චාරිත්‍රයක් ලෙස පවත්වමින් තිබෙනවා. කෙසේ වෙතත් ආත්මය වෙනත් සිරුරක් කරා ගිය මෙම මළ සිරුර ආහාර වශයෙන් ගිජුලිහිණියන්ට ලබා දීමෙන් මියගිය ආත්මයට පින් එකතුවන බව ටිබෙටයේ බෞද්ධයින් දැඩිව විශ්වාස කරනවා.
හසිත හේරත් | Athirasa [ Feature / World ]