Categories

History

ඇල්ල ළඟ අහස් නවය | Story Of The Nine Arch Bridge

766views

ඇල්ල ළඟ අහස් නවය !!

කොළොම්පුරෙන් පිටත් වූ උඩරට මැණිකේ පටකුඩ දෙක දෙක අරගෙන කීරිගැහෙන සීතලේ බඩ මැද මිනිස්සුත් ඉන්දවාගෙන මීදුම අස්සෙන් අමාරුවෙන් අමාරුවෙන් මහ කන්ද නගිනවා.ඈතට ඇහෙන හූ සද්දේ එක්ක ඩීසල් පුරවාගෙන කන්ද නැග්ගත් ඉස්සරනම් මැණිකේ කන්ද නැග ඇත්තේ ගල් අඟුරු හපමින් කළු දුම දමමිනි. කෝච්චියේ බදුලු ගිය හෝ යන එන හැමෝම දන්නා තැනක් තියෙනවා නොවරදවා නැරඹිය යුතුම. බදුල්ලට මෙහා දෙමෝදරත් නැවතුමත් ඇල්ල නැවතුමත් අතර මැද නොම්මර 40 බිංගෙයින් එළියට එන විටම අපිට මුනගැසෙන්නේ ඒ තැන.ඇත්තෙන්ම විශ්මිත තැනක් වූ ඒ තැන අප කවුරුත් දන්නා Nine Arch Bridge එහෙමත් නැතිනම් “ආරුක්කු නවයේ පාලම” ය. රේල් හයික් යන්නන් අතර ඉතා ජනප්‍රිය වූද ලංකාවේ අප මෙන්ම විදෙස් සංචාරකයින්ද විශ්මයට පත්වූ මෙම දැවැන්ත “දෙමෝදර පාලමේ” සැබෑ කතා පුවත දැනගැනීමට ඔබ කවුරුත් කැමති වනවා නිසැකය.

ඒ 1864 මාර්තු 07 වනදායි.ලංකාව යටත් කොට සිටි ඉංග්‍රීසීන් තම වෙළඳ කටයුතු සඳහා ලංකාවට ගෙන්වූ පළමු දුම්රිය එන්ජිම වූ “ලියෝපෝර්ඩ්” වාශ්ප එන්ජිම සාර්ථකව අත්හදා බැලූ වසරයි. එමෙන්ම එය ලංකාවේ ඉතිහාසගත පළමු දුම්රිය ගමනයි.කොළඹ සිට අඹේපුස්ස දක්වා සාර්ථකව ගමන් කල මෙම දුම්රිය ගමනින් පසු දුම්රිය මඟ වරින් වර දිගු කරමින් යාවත්කාලීන කරන්නට විය. උතුරු දුම්රිය මග , කැළණි මිටියාවතේ කැළණි වැලි මග, මුහුදු බඩ දුම්රිය මග වරින් වර ඉදිකරමින් යාවත් කාලීන කෙරිණ. ඒ අතර උඩරට දුම්රිය මග දීර්ඝ කිරිමද ඇරඹුණි.ඒ අනුව 1867 අප්‍රේල් 27 වනදා පොල්ගහවෙල සිට මහනුවර දක්වා දුම්රිය මාර්ගය දිර්ඝ කොට විවෘත කෙරිණ.මෙසේ වරින් වර දීර්ඝ කරමින් පැමිණි දුම්රිය මග බදුල්ලට ආසන්න ඇල්ල නම් ස්ථානයේදී අඩපණ වන්නේ කඳු දෙකක් යාකරමින් පාලමක් සෑදීමේ ඇතිවන අවශ්‍යතාවක් නිසාය.ඒ 1913 වසරයි , පළමු ලෝක යුද්ධය ආරම්භ වන සමයයි. පාලම සෑදීම සඳහා උවමනා යකඩ එංගලන්තයේ සිට ගෙන්වාගැනීම ඇණහිටින්නේ පළමු ලෝක යුද්ධය නිසා නැව් ගමනාගමනය නැවතී යාම නිසයි. යුද්ධය අවසන් වන තුරු පාලම සෑදීමේ අදහස අත් හැරීමට සුදු ඉංජිනේරුවන් බලාපොරොත්තු වුවත් බදුල්ල දක්වා දුම්රිය මග සෑදීම අත්‍යාවශ්‍ය වූවේ තේ වැවිලි කරුවන්ගෙන් ඇතිවූ ප්‍රභල උද්ගෝෂණ නිසාය .සුදු ඉංජිනේරුවන් පාලම වෙනුවට කඳු දෙක යා කිරීමට නොයෙකුත් උපක්‍රම යෝජනා කලද ඒ එකඳු උපක්‍රමයක් හෝ සාර්ථක නොවීය. සුදු ඉංජිනේරුවන් වැටී සිටි අමාරු අඩිය දුටු සිංහල ගොවියෙකු මෙම ප්‍රශ්ණය විසඳීමට යෝජනාවක් ගෙන එන ලදි.

ඔහු නමින් පී.කේ අප්පුහාමී විය.1870 උපන් ඔහුගේ ගම් පළාත වූයේ කැප්පැටිපොළ වැලිමඩ ප්‍රදේශයයි.ගොවිකම කලත් ඔහු හොඳ බෙරවායෙකු මෙන්ම යකැදුරෙක් හා හොඳ කවියෙක්ද වූයේය.අප්පුහාමි දුම්රිය මග වැඩකටයුතු වලට කලක පටන් උදවු පදවු දුන් අයෙකු වූ නිසා ඔහු එරබද්දේ අප්පුහාමීබාස් නමින්ද හැදින්වීය. ඔහු පාලම පිළිබඳ යෝජනාව සුදු ඉංජිනේරුවන්ට ගෙන එන්නේ මේ හැඳුනුම් කම් අතරතුරදීය. මුලදී සුදු ඉංජිනේරුවන් ඔහුගේ අදහස සමච්චලයෙන් ඉවත දැමූවද පසුව අකමැත්තෙන් වුව ඔහුට අවස්ථාව ලබාදෙන්නේ කළ හැකි අන් කිසිවක් නැති තැනදීය. එහෙත් ඔහුට පාලම සාදා නිමවන තුරු කිසිම මුදලක් ලබා නොදීමටත් ඔවුන් අණ කරනු ලබනවා. ඔහු තමා විසින්ම තම ගම් තුලානෙන් ගෙන එන ශක්තිවන්ත මිනිසුන් සමග පාලම සෑදීම අරඹනවා. කඳු ගැට දෙකෙහි මුදුනේ සිට විශාල ප්‍රමාණයේ කළුගල් පහළට වේගයෙන් අත්හරිනු ලබන අතර පහළ ඇති මඩවගුර මත ඉතා ශක්තිමත් අත්තිවාරමක් එයින් ගොඩනගනවා. ඉන්පසු ඒ මත ශක්තිමත් ගල් කුට්ටි හා ලංකාවටම පමණක් ආවේණික හුණු බදාමයක් යොදාගෙන මෙම පාලමේ ආරුක්කු නවය සෑදීම ආරම්භ කරනවා.එනමුත් මෙයට එකම එක යකඩ කම්බියක් හෝ භාවිතා වන්නේ නෑ.

1913 ඇරඹූ පාලමේ වැඩ කටයුතු 1914 දී සම්පූරණයෙන් නිමවූ පසු මෙය හරහා දැමූ දුම්රිය පීල්ල මතින් දුම්රිය එගොඩ කිරීමේ දිනය පැමිණෙනවා. කෙසේ වෙතත් සුදු ඉංජිනේරුවෝ මෙය මතින් දුම්රිය ධාවනය කරවීමට බියක් දක්වන්නේ කිසිම යකඩ බාල්කයක් අන්තර්ගත නොවන මෙන්ම මෙයට වියදම් වූ මුදලද ඉතා අඩු ප්‍රමාණයක් වීම නිසා පාලමේ සවිශක්තිය පිළිබඳව ඇතිවන ගැටලුව නිසයි. එකෙනෙහිම පාලම යටට දිව යන එරබද්දේ අප්පුහාමී සරමක් එලා පාලම යට නිදා , දැන් ඉතිං දුම්රිය එගොඩ කරන්න යැයි කියනවා. කල හැකි දෙයක් නැති තැන සුදු ඉංජිනේරුවන් දුම්රිය එගොඩ කරනවාලු. කිසිම කරදරයකින් තොරව දුම්රිය එගොඩ වූ බව දුටු එදා අකමැත්තෙන් අවසරදුන් මුදල් නුදුන් සුදු ඉංජිනේරුවා දුව විත් අප්පුහාමිව බදාවැළඳ ගෙන තිබෙනවා. එමෙන්ම වැඩකල සෑම දිනකටම දිය යුතු වැටුපද රිදී මලු අට බැගින්ද ලබා දුන්නාලු. තමා බාරගත් රාජකාරිය ඒ ආකාරයෙන්ම ඉටුකල අප්පුහාමි තමා ලද හිඟවැටුපෙන් තම ගම්මාන දෙකෙහි වැසියන්ට රීදි කාසියක් සමග ආහාර වේලක්ද ලබා දුන්නාලු.

මුහුදු මට්ටමේ සිට අඩි 3100 ක උසින් පිහිටා ඇති මෙම වකගැසුනු පාලමේ දිග ප්‍රමාණය අඩි 300 ක් වන අතර මෙහි උසම කුළුනේ උස අඩි 99.6 කි(එනම් පාලමේ මුළු උස). පළල අඩි 25 කි. දෙමෝදර පිහිටා තිබීම නිසා මෙම පාලම “දෙමෝදර පාලම” ලෙසින් හඳුන්වන්නට පටන් ගත් අතර වසර 103 ක් තිස්සේ තවමත් නොසෙල්වී පවතින මෙම පාලම අභ්‍යන්තරයේ එකඳු කම්බියක් හෝ කොන්ක්‍රීට් බිංදුවක් හෝ නොමැත.පාලම යට සිට ඉහළ බලන කෙනෙකුට ඉතා දැවැන්ත ආරුක්කු නවයක් තුලින් අහස් කුස නවයකට කැඩී දිස්වීම නිසා මෙය අහස් නවයේ පාලම ලෙසද හඳුන්වනු ලැබේ. එදා මෙදා තුර උඩරට මැණිකේ එගොඩ මෙගොඩ කරන දෙමෝදර මහ පාලමේ ආරුක්කු “නවයක්” පිහිටුවා ඇත්තේ ඇයි දැයි දන්නේ එය නිර්මාණය කල පී.කේ අප්පුහාමි මහතාම පමණි. සමහර විටක එය තමාට සිටි “දරුවන් නව දෙනෙකු” වෙනුවෙන් වන්නට නුපුළුවන් බව නම් කිව හැක්කේ කාටද ?

(මැද ඡායාරුවේ සිටින්නේ මෙම විශ්ම කර්මය කල පී.කේ.අප්පුහාමි මහතායි)
ඡායාරූ – අන්තර්ජාලයෙනි

©හසිත හේරත්

Hasitha Herath

Hasitha Herath

Head Of Athirasa.lk / Author / Content Maker