Categories

History

ආදර වළසා | The Story Of Teddy Bear

898views

පොඩි උන්ට ආදරය කරන්නට , තුරුල් කොට නිදන්නට , ළගින් තනියට තබාගෙන සිටින්නට සිටින මේ අපූරු සෙල්ලම් වළසා ඔබත් දැක ඇති. දරුවන්ට රැගෙන දී ඇති. එපමණක් නොව ගැටිස්සියන් , ළමිස්සියන් පවා මෙම වළසාගේ විවිධ ප්‍රමාණ අනුරූ මිළඳී ගෙන තම ඇඳේ කොණක තබාගෙන හුරතල් වෙති .පෙම්වතුන් , පෙම්වතියන්ට තෑගි කරති. වාහන වල ඩෑෂ් පුවරු පුරා , පසුපස පුවරු පුරා පුරවාගෙන සිටිති. නමින් ටෙඩි බෙයාර් එහෙමත් නැතිනම් ටෙඩියා ලෙසින් හඳුන්වන මෙම සෙල්ලම් වළසාගේ උපතෙහි කතාපුවත ඔබ දැනගන්නට නම් කැමති වේවි.

ඇමරිකා එක්සත් ජනපදයේ 26 වන ජනාධිපති වශයෙන් පත්වූ තියොඩෝර් රූට්ස්වෙල් ජනාධිපතිවරයාගේ විනෝදාංශය වූයේ සතුන් දඩයම් කිරීමය. ඔහුගේ තුවක්කු මූනිස්සමින් ජීවිතක්ශයට පත්වූ සතුන් බොහෝ ගණනකි.ඒ අතර වඳුරන් , කුරුල්ලන් , මුවන් , හාවුන් බොහෝ ගණනක් විය.1902 දී නොවැම්බරයේ දිනක ඔහු ඇමරිකාවේ මිසිසිපි නදිය ආශ්‍රිතව දින තුනක දඩයම් චාරිකාවකට සහභාගි විය. පළමු දින දෙක තුළදී බොහෝ සතුන් දඩයම් කොට දැමූවත් තෙවැනි දිනයේ ඔහුට වෙඩි තැබීමට කිසිම සතෙකු හමු නොවීය.ඒ පිළිබඳව බොහෝ දුකින් සිටි ජනාධිපතිවරයා දුටු ඔහු සමග පැමිණි සහායකයාට දක්නට ලැබුනේ ඇස් අදහාගත නොහැකි දසුනකි. ඒ ගසක් අසළ ඇටවූ මද්දකට අසුවී බෙල්ලෙන්ම සිරවී සිටි අසරණ දුඹුරු වළස් දේනුවකි. ජනාධිපතිවරයාගේ සහායකයා වළස් දේනුව අසලටම ගොස් මද්දෙන් රැගෙන ඔහු ජනාධිපතිවරයාට කීවේ වළසාට වහා වෙඩි තබා තම දඩයම සාර්ථක කොටගන්නා ලෙසයි.එහෙත් සිදුවූවේ වෙනකකි. ජනාධිපතිවරයා වළසාට මෑනූ තුවක්කුව බිමට හරවා “මා මේ වළසා නොමරමි” යැයි කියමින් , වළසා මද්දෙන් නිදහස් කොට සහායකයා සමග ගමරට බලා යන්නට ගියේය.

පසුදා ඇමරිකාවේ සෑම පුවත්පතකම මෙම අපූරු පුවත පළවූයේ උණුසුම් පුවතක් ලෙසය. දඩයමේ කෙළ පැමිණි රූට්ස්වෙල් කෙසේ වළසෙකු වෙනුවෙන් හැඟීම්බර වූවේදැයි කිසිවකුටවත් සිතාගැනීමට නොහැකි වී තිබිණ. දේශපාලන චරිත නිර්මාණය කරන සුප්‍රසිද්ධ කාටූන් ශිල්පියෙකු වූ ක්ලිෆර්ඩ් බෙරිමන්, රූට්ස්වෙල් විසින් වළසාට ජීවිත දානය දෙන අයුරු විදහා දැක්වෙන කාටූනයක්(පින්තූරයේ දැක්වේ)පවා නිර්මාණය කළේය. මෙම පුවත ලැවුගින්නක් මෙන් ඇමරිකාව පුරා පැතිරී ගියේය. පුවත කන වැකුණු සීනිබෝල හා බෝනික්කන් නිෂ්පාදකයෙකු වූ ඇමරිකානු ජාතික මොරිස් මික්ටම් , බෙරිමන් නිර්මාණය කල කාටූන් චිත්‍රයේ සිටි වළසාගේ අනුරුව බෝනික්කෙකු මෙන් නිපදවා ජනපතිවරයාගේ අවසර ගෙන ඔහුට පටබැඳී තිබූ අන්වර්ථ නාමයන් බොහෝ ගණනකින් එකක් වූ “ටෙඩී” නාමය එකතු කොට ටෙඩීස් බෙයාර්( Teddy’s Bear) ලෙස නම් කලේය. ටෙඩීගේ වළසා ලෙද උපත ලද මෙම සෙල්ලම් වළස් බෝනික්කාගේ මුල් වර්ණය එදා මිසිසිපියේදී ඔහුට හමුවූ වළසා මෙන් දුඹුරු පැහැ විය.පසු කාලීනව ලෝකය පුරා පැතිරී ගිය ටෙඩී බෙයාර් බෝනික්කා දුඹුරු වර්ණයෙන් බැහැර වී වෙනත් වර්ණ වලින්ද නිපදවිනි. මුල්ම ටෙඩී බෙයාර් දුක්බරිත මුහුණකින්ම නිපදවුවත් පසුව සිනාසෙන ටෙඩී බෙයාර්ලා පවා නිෂ්පාදනය විය.

ඔබ ළඟත් , ඔබේ දරුවා ළඟත් ටෙඩී බෙයාර් බෝනික්කෙකු සිටිනවා නම් ඔහුව අතට ගෙන මදක් සිතන්න මේ සිටින්නේ 1902 දී රූස්ට්වෙල් විසින් ජීවිත දානය ලද වළස් දේනුවගේ අනුරුවක් නොවේද කියා. මෙම සිදුවීමෙන් පසු රූට්ස්වෙල් ජනාධිපතිවරයා 1919 වසරේදී මෙළොව හැර යනතුරුත් නැවත දඩයමේ නොගිය බව සඳහන් වේ.

©හසිත හේරත් | Athirasa [ History ]

Hasitha Herath

Hasitha Herath

Head Of Athirasa.lk / Author / Content Maker