The Green Concert | හරිත මියැසිය
සංගීතය අහන දෙයක් පමණක් ද? නැත්නම් ” “කායික සංගීතයක් ” යනු කුමක් ද ?
මේ පිලිබඳව අත් හදා බැලීමට ජූනි 27 වනදා අපි සුවිශේෂී හරිත මියැසි ප්‍රසංගයක් පැවැත්වූවා.
එහි විශේෂත්වය බාහිර මානව ප්‍රේක්ෂකයින් කිසිවකුත් නොමැතිව ප්‍රසංගය පැවැත්වීම යි. 2017 .02.19 දින හරිත මියැසිය ජනගත කල වනාන්තර ආශ්‍රිත එලිමහන් වේදිකාවම නැවත භාවිත කිරීමක් සිදු වුණා. නමුත් මෙහිදී එදා මානව ප්‍රේක්ෂකයන් වෙනුවට පසුගියදා එම ප්‍රේක්ෂකාගාරය පුරාම පිරී පැවතුනේ කුඩා පැලෑටි සහිත බඳුන් වලින්. ප්‍රසංගය පැවැත්වූයේ එම සොබාදහමට ගරු කිරීමක් ලෙස. මෙය මතුපිටින් බලන කෙනෙකුට පිස්සු වැඩක්. ( නමුත් බුදුන් වහන්සේගේ අනිමිසලෝචන පූජාව අපගේ ඒ සාමාන්‍ය සිතිවිල්ල ගැන නැවත සිතීමට යෝජනා කරයි. )
ඒ පිලිබඳව සහෘද බොහෝ දෙනා දුරකථනයෙන් මා අමතා විමසා බැලූ බැවින් මේ සටහන තබන්නට සිතුවා.
සංගීත කලාව පැවතීමට මානව ප්‍රේක්ෂකයින් අත්‍යවශ්‍ය ද?
රුවන්වැලි සෑ ගර්භයේ සිතුවම් ඇඳ ඇති බව සඳහන්. එම චිත්‍ර ඇඳි කලාකරුවන් කිසිදු ප්‍රේක්ෂකයෙක් බලාපොරොත්තු නොවී ශ්‍රද්ධාවෙන් කරන කටයුත්ත තුල ප්‍රේක්ෂකයයින් නොමැති බැවින් අපට එතන කලාව නැතැයි කිව හැකිද? රුවන්වැලි සෑය ගොඩ නඟා නිමකර කොත්පලඳවන විටවත් එම චිත්‍ර දැක ඇත්තේ එම නිර්මාණකරුවන් පමණි. සිතා මතාම ලෝකයට විවෘත කිරීම වලක්වා ඇත. එම සංකල්පය සංගීතයට ගලපා ගැනීමට මම උත්සාහ කලෙමි. සංගීත ප්‍රසංගය එලෙසින්ම පැවැත්විණි. මානව ප්‍රේක්ෂකයින් කිසිවෙක් නැත. එයින් අප ඉස්මතු කරන්නට උත්සහ කලේ සංගීත කලාව ශ්‍රවණය කරන දෙයකටත් වඩා නිර්මාණකරුවාගේ , වාදකයාගේ, ගායකයාගේ කායික කටයුත්තක් බව ය.
“කායික සංගීතය” යනුවෙන් දෙයක් තිබෙන බව ය. (මේ පිලිබඳව මුල් අනුප්‍රාණයන් ලැබුනේ ප්‍රවීණතම සාහිත්‍යදර එරික් ඉලයප්ආරච්චි මහතාගේ සංගීතාත්මක විචාර පත්‍රිකාවකිනි. )
වාදකයකු සිය සංගීත භාණ්ඩයෙන් සියුම් සංගීතමය භාවයන් උපදවා ගැනීමට විශාල කායික ශ්‍රමයක් දරයි. එයට මානසික ශ්‍රමයක් ද අතිරේකව එකතු වේ. එනිසා සංගීතය යනු අසන දෙයටත් වඩා කරන දෙයකි (manual work). භාහිර ප්‍රේක්ෂකයින් සිටියත් නැතත් සංගීතයේ පැවැත්ම තහවුරු කර ඇති සේ යැයි සිතමි. සංගීතය සිය ජීවන චක්‍රය සම්පූර්ණ කරමින් පරිසමාප්තියට පත් වේ. අතීතයේ දී වඩාත් ජනප්‍රියව පැවතුනු සජීවී වාද්‍ය ප්‍රසංගවල දී ප්‍රේක්ෂකයින් සංගීතය අහන දෙයක් මෙන් ම කායික සංගීතයක් ද දුටුවෝ ය. සංගීතය සර්ව සම්පූර්ණ වීමට කායික සංගීතයේ පැවැත්ම ද තහවුරු කල යුතු ය යන්න මගේ හැඟීමයි. වර්තමාන ගුවන්විදුලි, රූපවාහිනී ප්‍රතිනිෂ්පාදන යුගය තුල අවගමනය වූයේ එම කායික සංගීතය යි. ගායක ගායිකාවෝ සංයුක්ත තැටි මත ඝනීභවනය වූහ. කායික සංගීතය වටහා ගැනීම අල්ප විය. එනිසා තව වසර සියයක් ගත වුවත් සජීවී වාද්‍යකරණය , ගායනය තුලින් එම කායික සංගීතය නඩත්තු කිරීමම සංගීතයේ පැවැත්ම යැයි සිතමි. මීට වසර 250 කට පමණ එහා නිර්මාණ පවා අදද සජීවීව ලෝකයේ නඩත්තු කරන්නේ එම කායික සංගීතයේ වටිනාකමයි. එම නිර්මාණ වල ඉතා ඉහල ගණයේ පටිගත කිරීම් තිබුන ද අදද සජීවී වාද්‍ය වෘන්දමය ප්‍රසංග නැරඹීමට යන්නේ ඒ කායික සංගීතය රසවිඳීමට යි. ප්‍රේක්ෂකයන් ආවත් නැතත් වාදකයෝ එම සංගීතය නඩත්තු කර යාමට කැපවී සිටිති. සංගීතයේ ජීව ගුණය පවත්වා ගෙන යන්නේ සජීවී වාදකයා හෝ ඉදිරිපත් කරන ගායකයායි.
මෑතකදී අප සංවිධානය කල හරිත මියැසියේ අප අවධාරණය කලේ අසනු ලබන සංගීතයට වඩා එම කායික සංගීත භාවිතාවයි. ලෝකයේ කුමන අපහසුතා මැද උවත් සංගීත කලාව නැමති කායික කටයුත්ත නඩත්තු කිරීමයි. එනිසා මිනිසුන් රැස් කිරීමට අපහසු කාල වකවානුවක් තුල ද සංගීතයේ කායික භාවිතාව නොනවත්වා භාවිත කිරීමයි. ප්‍රේක්ෂකයන් සිටිය ද නැතිද යන්න මෙහිදී ගැටලුවක් නොවේ.
“ලංකාවේ සංගීතය කියන්නේ රේඩියෝ එක දැම්මහම ඇහෙන දේට වැඩිමනක් නොවේ” යැයි දීප්ති කුමාර වරෙක පවසා ඇත. එහි වරදක් නැත. ඒ තරමටම ලංකාවේ සංගීතය යනු අසන දෙයක් මිස කායික සංගීතයට නිසි තැනක් හිමි නොවූ රටකි. ප්‍රේක්ෂකයින් සිටියත් නැතත් කලාකරුවාට සිය කලාත්මක පර්‍යේෂණයේ ජීවීතාන්තය තෙක් කටයුතු කල හැකි විය යුතුය. එමෙන්ම යම් ශානරයක සංගීත භාවිතාවන් සඳහා මහා ජන ගඟක් ගලා නොඑන විට එය සාමාන්‍ය තත්වයක් සේ දැකීමට කලාකරුවා හුරු වෙනු ඇතැයි සිතමි.
සංගීතය වනාහී වෙළඳපොල නැමති ඌරු මස් කොක්කේ සැනකින් එල්ලිය හැකි මාධ්‍යයක් බවට පරිභෝජනවාදී අර්ථක්‍රම තුල පරිවර්තනය කර ඇත. සංගීතය නිපදවන මොහොතේම එයට වෙළඳපොල ඉල්ලුමක් හිමිවීම එහි ඇති භයානක කමයි. එනිසා කායික සංගීතය කෙසේ වෙතත් ඉල්ලුමට අනුව සැපයීමේ න්‍යායට සංගීතකරුවා ගොදුරු වීම අරුමයක් නොවේ. එනිසා නිර්මාණකරුවාට සමාජයට හිතකර පරිදි තමාගේ කැමත්ත කෙසේ වෙතත් වෙළඳපොල විසින් උලුප්පා ඇති අවශ්‍යතාවයන් මත නිර්මාණ කිරීමට සිදුවේ. ක්ශේත්‍රය තුල තමන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීමට ඉල්ලුමට අනුව සැපයීමට නිර්මාණකරුවා පොළඹවන සමාජයක් තුල එයින් ගැලවී සිටීම ලෙහෙසි නැත. කලාව කලාව සඳහා ද , කලාව මිනිසා සඳහා ද යන ලෝකය පුරා ප්‍රචලිත දිගු කාලීන පැණයට නිර්මාණකරුවෝ මුහුණපා සිටිති. තම තමන් මෙම බය්නරියෙන් කොපමණ අනුපාතයකින් ලඟා වෙනවාද යන්න නිර්මාණකරුවන්ම තීරණය කර ගත යුතු බව මගේ හැඟීමයි. මට අනුව වැඩි බරක් තියෙන්නේ කලාව කලාව සඳහා ය යන අදහසටයි. එය තම තමන්ගේ පුද්ගලික නිදහස් තෝරා ගැනීමයි.
පසුගිය දා ප්‍රේක්ෂකයන් රහිතව කල හරිත මියැසිය ප්‍රසංගයට දායක වූ සහෝදර වාද්‍ය ශිල්පීන් වන ඉඳුනාත් නන්දසිංහ වයලින් වාදනයෙන් ද , කේෂාන් ධනුෂ්ක තාල වාද්‍ය භාණ්ඩ වාදනයෙන් ද කොන්දේසි විරහිතව ලබා දුන් සහයෝගය ඉතා ඉහලින් අගය කරමි. මතු ස්මරණය සඳහා සංරක්ෂණ වීඩියෝව කල මංජුල තෙන්නකෝන් මල්ලීට ද බෙහෙවින් ස්තුති වන්ත වෙමි.
ප්‍රේක්ෂකයන් රහිතව අප ඉදිරිපත් කල ප්‍රසංගයෙන් බල රහිත කරන ලද කරුණු කීපයක් සිදු වන්නට ඇතැයි සිතමු. (මේ කාරණාවලට යම් කෙනෙක් කැමති වුවත් නැතත් )
1. බටහිර සම්භාව්‍ය සංගීතය හෝ එවැනි ලක්ෂණ ගුරු කොට ගත් නිර්මාණ වර්තමානයේ ප්‍රේක්ෂක අවධානය දිනා නොගත් මැරුණු සංගීතයක් ලෙස ජනමාධ්‍ය මඟින් දුර්මත ප්‍රචාරණය කරන්නන්ගේ අදහසට ප්‍රතිපක්ෂව හිට හැනීම.
2. මොනම නීත්‍යානුකූල හෝ නොවන සදාචාර සම්පන්න හෝ නොවන Youtube views ප්‍රමාණය මත නිර්මාණයක් තක්සේරු කල හැකි ය යන දුර්මත ය. මෙම ප්‍රසංගය අප හිතාමතාම views බින්දුව ( 0 ) කර ඇත. කෙනෙක් youtube views ලක්ෂය, මිලියනය පැන්නා යැයි උදම් අනන විට බය නැතිව කොන්ද කෙලින් තියාගෙන views බිංදුවට හිතා මතාම ගෙනා බව සතුටින් ප්‍රකාශ කරන්නෙමු. Youtube channel subscribe කරන්න යැයි යාචක ඉල්ලිම් නොකරන්නෙමු.
3. සංගීත කලාව කර්මාන්තයක් ය ( music industry ) යන අන්තයට බොහොම ඈතින් හිතා මතාම තබා ගැනීම.
ලෝක ප්‍රසිද්ධ සංගීතවේදී ජෝසෆ් හය්ඩ්න් වරෙක මෙසේ පවසා ඇත. “මගේ රසිකයින් සිටින්නේ භාහිර ලෝකයටත් වඩා පරිකල්පන මනසේ යි.”
එනිසා ඒ පුහුණුවීම කල අපට හෙට දිනයේ ප්‍රේක්ෂක ප්‍රතිචාර මහ ගඟක් සේ ගලා ආවත් නොආවත් අපගේ කායික සංගීතය නතර නොවනු ඇතැයි සිතමු.
– සාගර විජේසිංහ [ සංගීත අධ්‍යක්ෂක ]