Categories

Life

උදවුව | The Help

707views

එකමත් එක ගමක හිටියලු “සල්ලි“ කියලා හැමදේම ලොකුවට හිතන් ඉන්න කෙනෙක්.දවසක් “සල්ලි“ ගමනක් යනවලු බොහොම උජාරුවෙන් වට පිටාව ගැන හරිම හෙවිල්ලෙන්. පාරතොට ඉන්න කාවවත් ගාණකටවත් නෑලු. හිතෙන හිතෙන හැමදේම තමන් සතුකරගන්නවා. සල්ලි හිතනවා තමන් මේ ලෝකේ ලොකුම කෙනා කියලා. ඒත් වැඩිදුර යන්න හම්බෙන්නේ නෑ. එයාට පාර පැටලෙනවා. යන්නේ කොහෙද කියලා හිතාගන්න බැරුව කැලේක අතරමං වෙනවා තමන් දන්න හැමදේම කරනවා කැලෙන් එළියට යන්න. ඒත්.. සල්ලි තවත් අතරමං වෙනවා..

ඔන්න ටික ටික කලුවර වැටෙනවා. සල්ලි කළුවරට බයයි. එයා ගහක් යටට වෙලා ඉදගෙන බයෙන් ගැහි ගැහි ඉන්නවා. ඔහොම ඉද්දි ඈතින් එළියක් පේන්න පටන්ගන්නවා එකපාරටම. දැන් සල්ලිට හිතට පොඩ්ඩක් සැහැල්ලුයි. ඒ එළිය එන්නේ සල්ලි ඉන්න දිහාවට. එත් සල්ලි එයාව අඳුරගන්නේ නෑ. ඒ තමා “රැවටීම“ සල්ලි එයාගෙන් කැලෙන් එළියට යන පාර අහනවා. රැවටීම දැනගන්නවා සල්ලිගාව වටිනා භාණ්ඩ ගොඩක් තියෙනවා කියලා. එයා කියනවා යමු මන් ඔයාව කැලෙන් එළියට ඇරලවන්නම් කියලා.

දැන් දෙන්න එක්ක අඩිපාරක් දිගේ ඇවිදගන යනවා. ඒ යන අස්සේ රැවටීම සල්ලිගේ විස්තර ඔක්කෝම අහගන්නවා. මගක් යනකොට රැවටීම එකපාරම අර පන්දම නිවනවා. එහෙම නිවලා සල්ලිගේ මල්ල උදුරගෙන දුවනවා. සල්ලි තවත් අතරමං වෙනවා. කරකියාගන්න දෙයක් නැතුව ඉන්නකොට තවත් පන්දමක් ඈතින් එනවා.

ඒ තමා “මනුස්සකම“. එයා සල්ලි ගාවට ඇවිත් විස්තර අහනවා. සල්ලි අඬ අඬා වෙච්ච කරදර ටික කියනවා. මනුස්සකම ඉක්මනට පන්දම සල්ලිට දීලා කැලෙන් එළියට යන පාර කියනවා. ඒ පාරේ දිගටම ගියාම කැලෙන් එළියට යන්න පුළුවන් බවත් කියනවා. සල්ලි අහනවා “මනුස්සකම ඔයා මාත් එක්ක එන්නේ නැද්ද කියලා“. මනුස්සකම කියනවා “නෑ“ කියලා. සල්ලි “ඇයි“ කියලා අහනකොට මනුස්සකම කියනවා. “ඔයා සල්ලිනේ මිනිස්සු අපි දෙන්නා එකට දැක්කොත් හිතල් සල්ලි මනුස්සකමත් සල්ලිවලට අරං කියලා“. ඒක නිසා ඔයා තනියම ගමට යන්න මං මේ කැලේ තවත් අතරමං වෙච්ච ඔයා වගේ “මහන්තත්තකම“ “ආඩම්බරකම“ “ලොකුකම“ “මෝඩකම“ “නූගත්කම“ වගේ අයට උදවු කරන්න යනවා. ඔයාට කලින් හම්බ උන “රැවටිම“ ගාව තිබ්බෙත් මගෙන් ගත්තු “ආලෝකයක් “ තමා. වැඩන් නෑ එයා රැවටීමනේ.. ඒත් සල්ලි ඔයාට ගමට ගිහින් කරන්න වැඩක් තියෙනවා. ඔයා කැලෙන් එළියට ගියාම “මනුස්සකම“ දුන්න “ආලෝකය“ කියලා හිතලා මේ පන්දම හැමෝගෙම උදවුවට යොදවන්න ඕනේ. තේරුණානේද…?? සල්ලි තියන හැමෝම අමනුස්සයෝ නොවේ කියලා පෙන්වන්න ඕනේ. “මනුස්සකමේ“ ආලෝකයෙන් අනිත් අයට උදව් කරන්න ඕනේ කියලා “මනුස්සකම“ කළුවර කැලේ ඇතුලේ නොපෙනී යනවා.. “සල්ලි“ මනුස්සකමේ ආලෝකයත් අරන් ගමට යනවා.

හසිත හේරත් | Athirasa [ Life ]

Hasitha Herath

Hasitha Herath

Head Of Athirasa.lk / Author / Content Maker