දිනුම | The Moment
පිට පිට වසර තුනක් චෙස් ශූරතාවය දිනූ චෙස් ශූරයෙක් වූ තෝමස් මේ වසරේද ජයග්‍රහණය ලැබීමෙන් අනතුරුව පුවත් පත් සාකච්ඡාවකට සහභාගී වුනා.
“ඇත්තෙන්ම ඔබ දක්ෂ චෙස් ශූරයෙක් මේ වසරේ ඔබ චෙස් ශූරයා වීම නිසා පිට පිට සිවු වසරක් එක දිගටම ජයග්‍රහණය ලැබුවා , ආඩම්බරද ඔබේ ජය පිළිබඳව ? “
” ඇත්තෙන්ම ආඩම්බර කමක් නෑ , මං මේ වෙලාවේදී කියන්න ඕන මං ඇත්තම ජය ලැබුවේ අද වත් පසු ගිය වසර තුනේදීවත් නොවේ! මා ඇත්තටම ජය ලැබූවේ පිට පිට අවුරුදු දෙකක් එක දිගටම පරාජය වී අවසාන වතාවේ පරාජය වූ දවසේදීයි “
“ඒක හරි පුදුම කතාවක්නේ !! ඔබ කොහොමද පරාජය වූ දවසේ ජය ලැබූවේ ? “
” එදාත් මං ඊට කලින් අවුරුදු දෙකේදී වගේම අන්ත පරාජයකට ලක්වුනා , එසේවූ නිසා මගේ චෙස් සමාජයෙන් මාව කොන්වෙලා ගියා මං සෑහෙන්න මානසිකව වැටුනා ,කොටින්ම කියනවා නම් මගේ ජීවිතය පවා මට එපා වුනා.මං එදා හවස තැබෑරුමට ගියේ මදුවිත ටිකක් පානය කරන්න. මට අහම්බෙන් සැන්ඩ්‍රා කියන තරුණිය එහිදී මුණ ගැසුනා. ඇය එහි සේවිකාවක්.මාගේ දුක්බරිත මුහුණ දුටු ඇය මා සමඟ කතා කරමින් මාගේ විස්තර විමසුවා. මා සියලු දේ ඇයත් සමග කියා සිටියා.ඇත්තෙන්ම එදා හරි පුදුම දෙයක් සිදුවුනා.ඇයත් චෙස් ක්‍රීඩාවට ප්‍රිය කල මනා දැනුමක් තිබූ තරුණියක්. ඇයගේ සේවා සලසන අතරතුර ඇය විටින් විට පැමිණ මා සමඟ කතා කලා. එදා මම තැබෑරුම වසන තුරු ඒ තුළ සිටියා, ඇයගේ සේවා මුරය අවසන් වන විට අප දෙදෙනා පෙම්වතුන් වී සිටියා.පසුව දිගින් දිගටම අප හමුවී චෙස් ගැනම කතා කලා. ඈ සතුව තිබූ සියලු දැණුම ඈ මට ලබා දුන්නා. ඇත්තෙන්ම ඇය මටත් වඩා දක්ශ කෙනෙක්. එදා මම දිනුවා නම් තැබෑරුමට යන්නේ නැහැ , එහෙම වුනා නම් මෙතරම් චෙස් දැනුමක් තිබුනු සැන්ඩ්‍රාව මට මුණගැසෙන්නේත් නැහැ, ඇගේ දැනුම මා වෙත නොලැබුනා නම් මා පිට පිට වසර හතරක් ජය ලබන්නේත් නැහැ
“ඇත්තෙන්ම තෝමස් එයනම් ආශ්චර්යයක්, කෝ දැන් ඔබේ චෙස් ශූරිය සැන්ඩ්‍රා ?”
” මේ සාකච්ඡාව අවසන් වනතුරු අර වීදුරු දොරින් එපිට රැදී සිටින්නේ සැන්ඩ්‍රායි ! ඇය දැන් මාගේ ආදරණීය බිරිඳයි . අප පෙම්වතුන් වී වසරක් තුල විවාහ වුනා. එදා සිට මා බොහෝ ජය ලැබූවා. ඇය මා සමඟ සිටිමින් මාව නිතරම දිරිමත් කරනවා. නිවසේ ප්‍රශ්ණයක්වත් මාගේ හිස මත පටවන්නේ නැහැ. ඇත්තටම මාගේ මේ සියලු ජයග්‍රහණ වලට මුල සැන්ඩ්‍රා. ඒකයි මම පැවසුවේ මා ජය ලැබූවේ අවසන් වරට මා පරාජයවූ දවසේ කියා, එදා තමයි මට සැන්ඩ්‍රා මුණ ගැසුනේ. දෛවය මාව එතනට රැගෙන යන්න ඇති”
හසිත හේරත් | Athirasa [ Life ]