Categories

Health

මරුවා | The Silent Killer 

1.16Kviews

මිනිස් සිරුර යනු මේ ලොව බිහිවූ අරුම පුදුම වස්තුවකි. උපන්දා සිට මියෙන තෙක් මිනිස් සිරුර රෝගී වෙමින් නැවත ප්‍රතිශක්තිය ලබමින් , වැඩෙමින් , වයසට යමින් අරුම පුදුම ක්‍රියාවන්වල නිරතවන වස්තුවකි. ඔබේත් මගේත් සිරුර පිළිබඳ අප දැනගතයුුතු දේ බොහෝමයකි. බාහිර ඔපය ගැන සිත අප , සිරුරේ අභ්‍යන්තරය ගැන සිතන්නේ කෙතරම් පසුවීද ? අප විසින් සිදුකරන ක්‍රියාකාරකම් වලට අප ශක්තිය ලබාගතයුතුය. වාහනයට ඉන්ධන පුරවනවාක් මෙන් අප අපේ සිරුරට ආහාර පුරවමින් එය රැකගන්නට වෙර දරමින් සිටින්නෙමු. එහෙත් ! ආහාර නිසාම අප අමාරු අඩියකට වැටෙන්නට බොහෝ ඉඩ ඇති බව දන්නේ කීයෙන් කීදෙනාද ! අපි ආහාර වලට ලොබ නොවෙමු. විටෙක කිඹුලන් කිරිමැටි ගිලින්නා සේ ආහාර ගිල දමන්නෙමු. එකම තැනකට වී නිවිසැනසිල්ලේ කල් මරන්නෙමු. ඇති පමණ නිදිසුවද ලබන්නෙමු. ඉතිං අප සුවසේ ජීවත් වන්නෙමු ! ඇත්තෙන්ම එසේ සිතන අප කෙතරම් “මෝඩද” !!

කිහිපදිනක් නාසය අවහිරවීමෙන් ඇතිවූ පීඩාවෙන් මිදීම සඳහා බෙහෙතක් ලබාගැනීමට වෛද්‍යවරයාගේ ආරෝග්‍යශාලාවට ඇතුල් වනවාත් සමගම ඇතුල් කාමරයෙන් ඇසෙන්නට වූයේ කාන්තාවක් ඉතා අපහසුවෙන් කෙඳිරිගාමින් බෙරිහන් දෙන ශබ්දයකි. සිදුවන්නේ කුමක්දැසි සිතාගැනීමට නොහැකිව මාගේ වාරය එනතුරු අසුන්ගෙන සිටීයෙමි.මද වේලාවකට පසු කකුලක් ආවරණය කොට බෙහෙත් දැමූ වයස අවුරුදු 70ක පමණ කාන්තාවක් වත්තම් කරගෙන පැමිණ අසුන්ගැන්වීය.ඉතා වේදනාවෙන් කෙඳිරිගාමින් සිටි ඇගේ දෙපා වෙත මාගේ දෑස් යොමුවූයේ ඉබේටමය. අහෝ..! ඇගේ විවෘත පයේ එකඳු ඇඟිල්ලක් වත් නැත. පාදයෙන් බාගයක් පමණ කපා ඉවත්කොට තිබුණි. අනෙක් පාදයේ ඇඟිලිද මෑතකදී කපා ඉවත් කොට දැමූබව මා හට දැනගන්නට ලැබුණි.මද වේලාවකට පසු මාගේ වාරය එළඹි අතර එම කාන්තාව පිළබඳ විමසූ විට දැනගන්නට ලැබුනේ ඇය දරුණුලෙස දියවැඩියා රෝගයෙන් පෙළන බවත් ජීවිතය පවා අවධානම් බවත්ය.

දියවැඩියාව එහෙමත් නැතිනම් ඔබ සැම නිතරම අසන ඩයිබෙටීස් එතරම් දරුණු තත්වයකි. අප ඒ ගැන කොපමණ දැනුවත්ද ? “රුධිරයේ සීනි මට්ටම වැඩිවෙලා” යන වාක්‍යයට අමතරව අප දියවැඩියාව ගැන දන්නා තරම ප්‍රමාණවත්ද ? දියවැඩියාව යනු කුමක්ද . එහි අභ්‍යන්තර රූපය කෙසේදැයි අප දැනගත යුතුමය.

දියවැඩියාව ආකාර කිහිපයකි. එනමුත් අද ලෝකයේ කතාබහ වන ප්‍රධාන ආකාර දෙකකි. පළමු ආකාරයේ දියවැඩියාව(Type01) හා දෙවැනි ආකාරයේ දියවැඩියාව(Type02) එම ආකාර දෙකයි.මීට අමතරව ගර්භණිසමයේ ඇතිවිය හැකි දියවැඩියා තත්වය තවත් එක් ආකාරයකි.මින් පළමු හා දෙවන ආකාර වල දියවැඩියා තත්වය ගැන අප සොයාබලමු. ඊට පෙර අප අපගේ ආහාර ජීරණ පද්ධතිය අපව ජීවත් කරවන ආකාර‍ය දැනගත යුතුය.

අපට ජීවත් වීමට ශක්තිය අවශ්‍ය වේ. ශක්තිය ලබාගැනීමට ආහාර ලබාගැනීම අවශ්‍ය වේ. අප ගන්නා ආහාරයෙන් අපගේ සජීවී සෛල තවදුරටත් යාවත්කාලීන කිරීම තුලින් අපට සජීවීව සිටිමින් මිනිස් ක්‍රියාකාරකම් කිරීමට අවස්ථාව ලැබී තිබේ.ඒ සඳහා අවශ්‍ය ප්‍රධානම සංඝඨකයයි “ග්ලූකෝස්” වේ. අප ලබාගන්නා ආහාරය ආමාශයේදී බිඳ දමා එහි ඇති ග්ලූකෝස් කුඩා අන්ත්‍රයේදී අපගේ රුධිරය හා එකතුවීම සිදුවේ.එම ග්ලූකෝස් මොළය , ඇස් , මස්පිඩු වැනි සංකීර්ණ පද්ධතිවල සෛලතුලට උරාගැනීමෙන් අපව තවතවත් ශක්තිමත්ව තබාගනු ලබයි.මෙහිදී ග්ලූකෝස් පමණක් නොව විවිධ හෝමෝන වර්ගද හරි හරියට ග්ලූකෝස් , සෛලතුලට තල්ලු කිරීමට උදවු දෙමින් සිටී.ඒ අතර ප්‍රධානතම හෝමෝනය වන්නේ කවුරුත් අසා ඇති “ඉන්සියුලින් “ නම් හෝමෝනයයි.

පළමු වර්ගයේ දියවැඩියාව

මෙය ඇත්තෙන්ම කණ්ඩායම් ව්‍යාපෘතියකි.තනිව සිදුකරන කිසිවක් නැත.කුඩා අන්ත්‍රයේදී රුධිරය සමග මුසුවන ග්ලූකෝස් , සෛල වෙත ඇදී ගියත් ඒවාට සෛල තුලට රිංගීමට හැකියාවක් නැත. ඒ සඳහා ඉන්සියුලින් තම රාජකාරිය මැනැවින් ඉටු කල යුතුය. ග්ලූකෝස් , සෛල තුලට ඇතුල් කිරීමට මුරපද සපයන්නේ එසේ නැතිනම් ඇතුල් වීමට දොරටුව සපයන්නේ ඉන්සියුලින් හෝමෝනය විසිනි.සරලව කිවහොත් ඉන්සියුලින් නොමැති නම් ග්ලූකෝස් ට යන එන මං නැත. සෛල තුලට රිංගා ගොස් ශක්තිය නිපදවිය නොහැක.සරල ශක්ති උත්පාදන කතාව එසේය.එසේනම් දියවැඩියාවේ පළමු ආකාරය යනු කුමක්ද ?

●ඔබ අසා තිබේද උදර කුහරය තුල ඇති අග්න්‍යාශය නම් කුඩා අවයවයක් පිළිබඳ? ශරීරයට අවශ්‍ය ඉන්සියුලින් නිපදවන්නේ මෙම අග්න්‍යාසය මගිනි.රුධිරයට ග්ලුකෝස් එකතුවී විනාඩි කිහිපයක් තුල එයට අවශ්‍ය ඉන්සියුලින් මෙම ඉන්ද්‍රිය තුල නිපදවීම ආරම්භ වේ.අග්න්‍යාශය තුළ ඇත බීටා සෛල මගින් මෙම ඉන්සියුලින් නිපදවමින් රුධිරය සමග මුසුකොට සෛල ද්වාර විවෘත කිරීමට මුදාහරී.මෙම ක්‍රියාවලිය නිරෝගී පුද්ගලයෙකුගේ ඉතා හොඳින් හා නිවැරදිව සිදුවේ. එහෙත් අවාසනාවකට එක්තරා පිරිසකට මෙම අවස්ථාව මගහැරී යනු ඇත.දියවැඩියා රෝගීන්ගෙන් 10%ක ප්‍රමාණයක් මේ අතර වේ. ශරීරයේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය මගින් විශේෂයෙන් සුදුරුධිරානු මගින් මෙම බීටා සෛල විනාශ කොට දැමීම සිදුවිය හැක.පරම්පරාවෙන් පැවත එන ජාන මගින් 88% ක ප්‍රතිශතයක්ද 12 ක පමණ මත්ද්‍රව්‍ය හා වෙනත් දෑ නිසාද මෙම විනාශය සිදුවිය හැක.මෙවැනි පුද්ගලයෙකුගේ බීටා සෛල සම්පූරණයෙන් විනාශ වූ පසු නැවත ඉන්සියුලීන් නිපදවීමක් සිදුවන්නේ නැත. එවිට වන දේ දැන් ඔබට සිතාගත හැක. සෛල ද්වාර විවෘත කිරීමට ඉන්සියුලින් කොහිද ? රුධිරය දිගේ සෛල වෙත ඇදී යන ග්ලූකෝස් සෛල අතර අතරමන් වේ.දැන් ඒවාට ඇතුලට යාමට ඉන්සියුලින් යතුරු නැත. ග්ලූකෝස් ප්‍රමාණය වැඩිවීමෙන් තිබේ. මේ ඔබ දකින්නේ පළමු ආකාරයේ දියවැඩියා රූපකයයි.එය හයිපර්ගල්යිසීමියා ලෙස හඳුන්වයි. දැන් සෛල වලට අවශ්‍ය ශක්තිය මද නිසා වැඩියෙන් බඩගින්න දැනෙනු ඇත.නමුත් ශරීරය පවත්වාගත යුතු නිසා ශරීර විසින් ශරීර මේදය හා ප්‍රෝටීන දහනය කරමින් ශක්තිය ලබාගනී එහෙත් මෙහිදී කීටෝන නම් ප්‍රතිදේහයක් නිපදවේ.මෙය රුධිරය සමග දිගින් දිගට මුසු වීමෙන් කීටෝඇසිඩෝසිස් තත්වය ඇතිවේ.මෙය දරුණු තත්වයකි. රෝගියා මිය යාම දක්වා මෙම තත්වය යාවත්කාලීන විය හැක. දිනකට කිහිප වරක් ඉන්සියුලින් කෘතිමව ශරීරගත කිරීමෙන් මෙම තත්වයෙන් මඟහැරීමට හැකිවේ.මෙම පළමු ආකාරයේ දියැවැඩියාව සෑදුනු අය ඉතා කෘෂ ශරීර වලින් යුතුවේ.එයට හේතුව දිගින් දිගටම ශරීරයේ මේදය හා ප්‍රෝටීන් දහනය මගින් ශක්තිය උත්පාදනයයි. පළමු ආකාරයේ දියවැඩියාව බොහෝ විට වැළඳිය හැක්කේ දරුවන්ට හා වයසින් වැඩි පුද්ගලයින්ට වේ.

●දෙවන ආකාරයේ දියවැඩියාවේදීද සිදුවන්නේ ඉන්සියුලින් නිසා සෛල ද්වාර විවෘත නොවීමේ තත්වයයි.එහෙත් මෙය පළමු ආකාරයට වඩා මදක් වෙනස් වේ.දියවැඩියා රෝගීන්ගෙන් 90% කටම වැළදෙන්නේ මෙම දෙවැනි ආකාරයේ දියවැඩියාවයි. පළමු ආකාරයේ මෙන් මෙහිනී බීටා සෛල විනාශ වන්නේ නැත.ඒ වෙනුවට සිදුවන්නේ ඒ මගින් උත්පාදනයන කෙරෙන ඉන්සියුලින් ප්‍රමාණය අඩු ප්‍රමාණයක් වීමයි. එමගින් සෛල ද්වාර විවෘත කිරීමට යතුරු බොහෝමයක් පරීක්ෂා කලයුුුතු වේ.ග්ලූකෝස් කිසියම් ප්‍රමාණයක් සෛලගත වුවත් බොහෝ ප්‍රමාණයක් නිවැරදි ඉන්සියුලින් “යතුර” එනතුරු සෛලයෙන් පිටත බලා සිටී.එවිටද පළමු අවස්ථාවේ මෙන් රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය ඉහළ යයි.මෙම දෙවන ආකාරයේ දියවැඩියා තත්වය ඔබට හා මටද ඇතිවිය හැක.පළමු අවස්ථාවේ මෙන් ජාන වලින්ද , අධික රුධිර පීඩනය , අධික තෙල් සහිත ආහාර භාවිතය නිස අධික කොලෙස්ට්‍රෝල් තත්වය , අධික බර , ව්‍යායාමයේ මද බව , හා දුම්බීම හා මතද්‍රව්‍ය භාවිතය වැනි සිදුවීම්ද මානසික ආතතිය වැනි තත්වයන් නිසාද අග්න්‍යාශයේ ඉන්සියුලින් නිෂ්පාදන ධාරිතාවය අඩු විය හැක.

දෙවන වර්ගයේ දියවැඩියාව

බොහෝවිට මෙම අවස්ථා දෙකේදීම දක්නට ලැබෙන රෝගී ලක්ෂණ බොහෝ සමාන වේ. බඩගින්න ● වතුර තිබහ ● නිතර මුත්‍රා බර ඇතිවීම ● සිරුරේ බර අඩුවීම ● තෙහෙට්ටුව ● ශක්තිය දුර්වලවීමට ● කේන්ති යාම හා නුරුස්සන ගතිය ● පෙනීම දුර්වලවීම වැනි කෙටි කාලීන රෝග ලක්ෂණ මෙන්ම පසු කාලීනව වකුගඩු දුර්වලවීම ● ඇස් නොපෙනී යාම ● කකුල් හිරිවැටීම හා ඇඟිලි හා පාද කපා දැමීමට සිදුවීම ● හෘද රෝග ● ස්නායු දුර්වල වී මොළයේ ක්‍රියාවලියට හානි සිදුවීම ● අංශභාගය වැනි දරුණු තත්ව නිසා කෝමා තත්වයට පත්ව ජීවිතයෙන් පවා සමුගන්නා තත්වයට පත්විය හැක.

දියවැඩියාව නිසා ඇතිවිය හැකි වෙනත් සංකූලතා

මේවන විට ලෝකයේ සිටින දියවැඩියාවෙන් පීඩාවිඳින රෝගීන් ප්‍රමාණය මිලියන 420 ක් පමණ වේ.(ලෝක ජනගහනය බිලියන 7.5කි) එයින් මිලියන 190 ක් පමණ තමා දියවැඩියා රෝගයෙන් පෙළෙන බව නොදනී.එමෙන්ම දියවැඩියාවේ අතුරු ප්‍රථිපල වන හෘදයාබාධ , වකුගඩු අක්‍රියවීම් , අංශභාගය , ස්නායුරෝග වැනි දරුණු තත්ව නිසා බොහෝ පිරිසක් තම ජීවිත වලින් පවා සමුගනී . මෙම තත්වය 2030 වන විට මීට වඩා දරුණු තත්වයකට පත්වි හැකි බවත් එය රෝගීන් මිලියන 553 ක් දක්වා වර්ධනය විය හැකි බවත් ලෝක දියවැඩියා සම්මේලනය කියා සිටියි.

නිවැරදි ආහාර පුරුදු , ව්‍යායාම මගින් ශරීරයේ අධික මේදය දහනය කොට දැමීම , සිගරට් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම , දිනකට ලබාගන්නා සීනී ප්‍රතිශතය දැන් සිටම පාලනය කිරීම ( පිරිමි දිනකට තේහැඳි 9 – කාන්තාවන් දිනකට තේහැඳි 6 ) වැනි දේ මඟින් සිරුරේ ග්ලූකෝස් තත්වය 100 mg/dL අඩු අගයක තබාගැනීම කල යුතුය. සමහර විටක සීනි මට්ටම මදක් වැඩිවුවද 126 mg/dL හෝ ඊට වඩා ඉහළ අගයක සීනී මට්ටම ඔබ දියවැඩියා තත්වයෙන් පෙළෙන බවට ශාක්ෂි වේ. (වෛද්‍යවරයෙකු හමුවී සීනිමට්ටම පරීක්ෂා කරවා ගන්න , නැතිනම් නිවසේදීම සීනි මට්ටම සොයන යන්ත්‍රයක් භාවිත කරන්න)

ඉතිං !! අධික පැණිරස හා අධික තෙල්කෑම බුදිමින් , ව්‍යායාමයෙන් තොරවෙමින් අප තවදුරටත් ලෙඩුන් විය යුතුද , බෝනොවන රෝග වැලක උපරිමයට ළඟාවීමට අප දිනූ මනුස්ස සිරුර අවභාවිත කොටගත යුතුද ? නොපෙනීම අපව මරා දමන ඩයිබෙටීස් නොපෙනෙන මරුවා (The Silent Killer) පරාජය කල යුතු නොවේද? අද සිටම පුරුදු පුහුණු වන්න , ආහාර පාලනය කරන්න, ව්‍යායාමයේ නිරතවන්න, සිගරට් හා මත්පැන් පානය නවත්වන්න ඔබ ඔබේ ආදරණීයයන් වෙනුවෙන් නීරෝගී දිවිපෙවතක සාඩම්බර හිමිකරුවකු වන්න.

නොවැම්බර් 14 – ලෝක දියවැඩියා දිනය

තොරතුරු සොයාගැනීමේදී උපකාරය ලබා දුන් අවිස්සාවේල්ල මහරෝහලේ වෛද්‍ය මේනක අනුරාධ මහතාට ස්තූතිය පුදකරමි Menaka Anuradha

හසිත හේරත් | Athirasa [ Health ]

 

Hasitha Herath

Hasitha Herath

Head Of Athirasa.lk / Author / Content Maker