අලි කඳුළු | Tyke The Elephant

අලි කඳුළු | Tyke The Elephant

මතකද කුඩා කාලයේ ජාතික රූපවාහිනිය වටේ ඉඳගෙන හවස් යාමයේ බලපු ටයි මාමා හඬකවපු කතා බලපු හැටි ? ඒ කතා අතර අපි කාට කාටත් අමතක නොවන කතාවක් තිබුනා. සකුරා අම්මාගේ හනාකෝ පැටියා. ලස්සනට හඬකවා තිබූ “පුංචි ඇත් පැටියා” ජපන් ළමා චිත්‍රපටය. ඒ කාලයේ අපගේ හීන වල පවා පුංචි හනාකෝ ඇත් පැටවා හිටියා මතකද ? 1969 දී ජපානයේදී තිරගත කෙරුනු ඒ කතාවේ අන්තර්ගතවූයේ දෙවන මහා ලෝක යුද්ධය නිසා 1940 වසරේ ජපානයේ සිදුවූ බොහෝ විනාශයන් නිසා රටේ තිබූ සත්වෝද්‍යාන වල දරුණු සතුන් මරා දැමීමට නියම කිරීම නිසා සිදුවූ අති සංවේදී සිදුවීමක්. සකුරා කියන ඇතින්නත් ඇගේ පැටියා වූ හනාකෝවත් වෙඩි තබා මැරීමෙන් බේරාගන්නට වෙර දරන ඇත්ගොවුවකුගේ සංවෙිදී කතාවක් මෙහි අන්තර්ගත වුනා. කෙසේ වුවත් සත්වෝද්‍යානයේ සැඟවූ ඇතින්න බඩගින්නේ මියඇදෙන අතර හනාකෝ සඟවා වෙනතa පළාතකට ගෙනයාමට තැත් කිරීමේදී හමුදාවට කොටුවන අයුරුත් හනාකෝට ආදරය කල ළමුන් සහ ඇත්ගොව්වාද එකතුවී ඌව මරණයෙන් ගලවා ගන්නා අයුරුත් එම චිත්‍රපටයේ අන්තර්ගත වුනා. සංවේදී සංගීත ඛණ්ඩ ඇසුරෙන් ගලාගිය එම චිත්‍රපටය නැරඹූ අප සැමගේ දෑස් තෙත්වූ අයුරු අද මෙන් මතක ඇත. එය ඇත්තෙන්ම දෙවන මහා ලෝක යුද්ධ සමයේ ජපානයේ සිදුවූ සත්‍ය සිදුවීමක් ඇසුරෙන් ගොඩනගා තිබුනා. අදටත් ජපානයේ මරාදැමුනු එම සතුන් වෙනුවෙන් තැනූ ස්මාරකයක් Ueno නම් සත්වෝද්‍යානයේ තිබෙනවා.

මේ කතාව තවත් ඇතකු ගැන වුවත් හනාකෝ ගැන නම් නොවේ.1974 අප්‍රිකාවේ මොසැම්බික්හි උපනා ඇය නමින් “ටයික්” විය. ඇමරිකානු සර්කස් කණ්ඩායමක් වෙත අප්‍රිනාවේ සිට රැගෙන එන ඇගේ පුහුණු ‍කරු වන්නේ ඇමරිකානු ජාතික ඇලන් කැම්බල් ය. කාලයාගේ ඇවෑමනේ දැවැන්ත ඇතකු වන ටයික් සර්කස් සර්පිලය තුළ බොහෝ විනෝදාත්මක දේ කරමින් මුදල් ඉපයීමට උදවු ලබා දෙනවා.කෙසේ වුවත් සිරකරමින් තබා තිබීම දරාගත නොහැකිවූ ඇය දෙවතාවක් සර්කස් සර්පිලයෙන් පැනයනවා. 1993 අප්‍රේල් 21 වනදා ජෆා ශරින් ශාලාවේ සර්කස් සර්පිලයෙන් පැන යන ඇය කොටීන් පුහුණු කරන පුද්ගලයෙකුට තුවාල සිදුකරමින් තවත් ඇමරිකානු ඩොලර් 14000ක පමණ අලාභයක් සිදුකරනවා.නමුත් ඇයව දමනය කොටගන නැවත රැගෙන එනවා. දෙවෙනි වර ඇය පැන යන්නේ 1993 ජූලි 23 වනදායි. උතුරු දකෝතා හිදී පැවැත්වූ සර්කස් සර්පිලයකින් පැනයන ඈ විනාඩි 25 ක් පමණ හතර වටේ දුවමින් සිටින විට ඇයව නැවතත් දමනය කොටගන්නවා.කෙසේ නමුත් ඇගේ පුහුණුකරු ඇයට හෙන්ඩුවෙන් අණිමින් තරවටු කරන විට මෙසේ වේදනාව දරාගත නොහැකිව පැන ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

නමුත් අවාසනාවන්ත දවස උදාවන්නේ 1994 අගෝස්තු 20 වනදායි. හවායි දූපතේ හොනළුලු හිදී සංවිධායන වන තවත් සර්කස් සංදර්ශණයක් අතර තුර සිදුවූ සිදුවීමකින් ඇය නැවත වරක් කුලප්පු වී සර්පිලයෙන් පැන යනවා.මෙවර ඈ පෙරටත් වඩා දරුණු වෙමින් ඇගේ පුහුණුකරුවූ ඇලන් කැම්බල්ව පවා මරා දමමිනුයි පැන යන්නේ.ජනාකීර්ණ හොනළුලු නගරය පුරා පැය භාගයක් තිස්සේ ඇය කේන්තියෙන් දිව යනවා. නගර වැසියන් 13 දෙනෙකුට ප්‍රහාර එල්ල කළ ඇයව දමනය කරන්නට නගර ආරක්ෂණ පොලීසිය තෝරාගන්නේ සිහිනැති කිරීමේ බෙහෙත් නොවේ. ඔවුන් තෝරාගන්නේ “වෙඩි තැබීමය”. තුවක්කු උණ්ඩ 86 ක් ඇගේ සිරුර පසාරුකරමින් ශරීරගතවන අතර බාල්දි ගණන් ගලා ගිය ඇගේ රුධිරය මාර්ගය පුරා ගලා යද්දී අසල තිබූ මෝටර් රථයකට පිටදී ඉතා වේදනාවෙන් හා දුක්බර ලෙස තම දිවියෙන් සමුගන්නවා.මෙම සිදුවීම 1994 වසරේ සිදුවූ දරුණු සිදුවීමක් ලෙස වාර්ථා පොතට එක්ව තිබුනා.

තවමත් ලොව පුරා මෙසේ අලි ඇතුන් සිරකොට තබාගනිමින් වද හිංසා පමුණුවමින් නොයෙක් මිනිස් ක්‍රියාකාරකම් උදෙසා සීමා රහිතව යොදා ගැනීම ඉතා ශෝචනීය කාරණාවක්.මෑතකදී ශ්‍රී ලංකාවේ වගාළිඳකට වැටුනු ඇතින්නක් බේරාගන්නා අවස්ථාවේ ඇය කුලප්පු වීම නිසා තම පැටියා ඉදිරියේම ඇයට වෙඩි තබා ඝාතනය කරනු ලබන්නේ ඔවුන්ව ආරක්ෂා කරන්නටම දිවුරා වග වී සිටින සත්ව ආරක්ෂක නිළධාරියෙක්මය.

 

 

 

 

 

හසිත හේරත් | Athirasa [ World ]