Categories

Feature

වහ සහ බහ | Old Folks

1.06Kviews

අප එදිනෙදා ජීවිතයේදී වහ , වස ලෙස හඳුන්වන්නේ ශරීරයට අහිතකර බාහිරින් ඇතුල්වන රසායනිකයක් හෝ විසැති ශාක හෝ සත්ව යෙදවුමකි. මරණය හෝ ශරීරයට කිසියම් හෝ හානියක් කිරීමට හැකි මෙම වස වලින් අප බොහෝ පරිස්සම්ය. එහෙත් ඒ වසට වෙනස් වූ මිනිසුන් තුලින්ම ජනිත වන “වස” ත්‍රිත්වයක් ජනවහරේ අපට අසන්නට ලැබේ.

“වහ” යනු විෂ වේගයකි. පෙර සඳහන් කළ පරිදි මෙම විෂ වේගය බලපෑම් කරනු ලබන ආකාර තුනක්‌ පිළිබඳව ජන වහරේ විශ්වාසය පැතිරී පවතී. සාමාන්‍යයෙන් එදිනෙදා සමාජයේදී යමෙකුට යහපත් දියුණුවක්‌ වනු දැකීමට බොහෝ පුද්ගලයෝ අකමැති වෙති. බාහිරින් කැමති බවක්‌ පෙන්නුවද අභ්‍යන්තරයෙහි පවතින ඊර්ෂ්‍යාවක්‌ යටි සිත තුළ ඉස්‌මතු වෙයි. තමා දන්නා හඳුණන අය වෙත සිදුවන මෙම වාසි දෙස දුෂ්ඨ හා ඊර්ෂ්‍යා සහගතව බැලීමට පුද්ගලයින් පුරුදුවී සිටිති. නොහඳුණන අයෙකුට සිදුවන යසස දියුණුව පිළිබඳ පුද්ගලයින් තුළ එවන් හැඟීම් පහළ නොවේ යැයි කියති. මේ අයස බලපෑම සිදුවන ආකාර තුන ඇස්‌වහ කටවහ හෝ වහ යනුවෙන් ව්‍යවහාරයේ දක්‌නට ලැබේ.

ඊර්ෂ්‍යා සහගත බැලීම් මාත්‍රය “ඇස්‌වහ“ නම් වේ. “හෝ වහ” නමැති විෂ වේගය ආකාර දෙකකින් දක්‌නට ලැබේ. එනම් ඇසීම් පමණකින් විපත් වීම හා අසා සුසුම් හෙළීමෙන් විපත්තිකර බවක්‌ ගෙන දීමයි. යමක්‌ දැක තමා තුළ ඇතිවූ ඊර්ෂ්‍යාව හෝ ද්වේශ සහගත බව වචන මගින් පිටකිරීම “කටවහ“ දෝශයයි. සමහර විට එවැන්නෙකු ගුණ ගැයීමද කටවහ දෝශයම වේ.

මෙවැනි විෂ කෙතරම් දුරට සමාජයට බලපෑම් කරන්නේද යත් ඊට පිළියම් සෙවීමටද පැරැන්නන් වගබලා ගත්හ. එසේම අලුතින් සුබ ඵලදායි යමක්‌ සිදුකරන විට ඇස්‌වහ කටවහ හෝවා ආදියෙන් වැළකීමට සංකේතානුසාර උපක්‍රම භාවිතයක්‌ අද පවා අපට දක්‌නට ඇත. නව නිවසක්‌ ගොඩනැගිමේදී සඳහා පඹයකු බැඳීම, සුබ පැතුමක්‌ ප්‍රදර්ශනය කිරීම, පුහුලක්‌ එල්ලීම වැනි දේ සිදුකෙරේ. කුඩා දරුවකුගේ නම් නළලේ තිලකයක්‌ තබනු ලැබේ. ගැහැණු ළමුන්ගේ කණට තෝඩු දැමීමත් මින් බේරෙීමේ උපක්‍ර‍මයක් ලෙස පොත පතෙහි සඳහන් වේ. ඇස්වහ කරුවන් ක්ෂණිකවම මේවාගේ ඇසගැටීමෙන් දෝෂ මගහැරෙතැයි විශ්වාසයක්‌ පවතී. කටවහ වදිතැයි සිතෙන ප්‍රකාශයක්‌ කළ විටෙක ඔහු දෙසට “තුහ්, තුහ්, තුහ් ” කියා තෙවරක්‌ කෙල ගැසීම බොහෝ ප්‍රදේශවල කෙරේ. තවත් ප්‍රදේශවල අහසට කෙල ගසනු ලැබේ.

මෙම දෝෂ කැපීමට බොහෝ කෙම් ක්‍ර‍ම භාවිතා වේ. මිරිස් හා අබ පුපුරන තුරු පුච්චා දුම ඇල්ලීම ප්‍ර‍සිද්ධ ඇස්වහ කැපීමේ කෙමකි මීට අමතරව මෑත යුගයේ බොහෝ ජනප්‍රිය භාවයට පත්ව ඇති සෙත්කවි, බෝධිපූජා මෙම දොස්‌ නිවීම සඳහා සිදුකරනු ලබයි. සමහර රෝග ඇස්‌වහ කටවහ හෝ වහ දෝෂ නිසාම සිදුවෙතැයි ගැමියෝ අදහති. දෙහි ගස්‌වල ගෙඩි පැලීම, අඹ ගස්‌වල ළා ගෙඩි වැටීම, පොල් වලු තලා වැටීම, ඇස්‌වහ වැදීමෙන් සිදුවන දේ ලෙසින් විශ්වාස කෙරේ. මානව සමාජයෙහි පුහු දේවල් ලෙසින් සමහරු විසින් ප්‍රතික්‍ෂ්ප කරන බොහෝ දේ තුළ ගැබ්වූ සැගවුනු සත්‍යයන් පවතින බව නවීන විද්‍යාව හමුවේද හෙළිවෙමින් පවතී. එබැවින් මානව ශිෂ්ටාචාරය හා බැඳුනු මෙවන් බොහෝ දේ සමග තවත් අනාදිමත් කාලයක්‌ පරපුරෙන් පරපුරට පෙරට යෑමට මිනිසාට සිදුවනු ඇත.

හසිත හේරත් | Athirasa [ Feature ]

Hasitha Herath

Hasitha Herath

Head Of Athirasa.lk / Author / Content Maker