දෙලොවක් අතර | A Love Story

දෙලොවක් අතර | A Love Story

කටු නැවතුණු ඔරලෝසුව විතරක් සද්දෙ වහපු දෝංකාරෙට පාර අයිනේ එක්ටැම් මාළිගාවේ හතරවෙනි තට්ටුවේ දකුණු ජනෙල් පියන බාගෙට ඇරගෙන මං පාර බලන් හිටියේ එයා පාර පනින්න එනකම්.එයා මට එවලා තිබුනු ලස්සන ඉටිපන්දම මං තවම පත්තු කරේ නෑ.

ඩෙනිස් අතේ එවල තිබ්බු ඉටිපන්දමත් එක්ක ලියුම් කඩදහියකුත් තිබුනා…

හ්ම්….”තෝමස් !! මං ඔයා ගැන හිතනවා…මාව මතක් වෙන්න මේ ඉටිපන්දම තියාගන්න..ඒ විතරක් මදි මේක පත්තු කරන්න රෑට, එතකොට ඔයා ට පාලුවක් නැතිවෙයි”

හෙලේනාට වයස 37ක්. තවමත් ළපටි ළාමක ගැටිස්සියක් !! මීට අවුරුදු දෙකකට කලින් සෑම් එක්ක අල්තාරයේ කසාදේ බැන්ද හෙලේනා ටවුමට ආපු දා ඉදන්ම මට මහා ලෙන්ගතුකමක් තිබුනා..මට වඩා අවුරුදු තුනක් එයා වැඩිමල්..ඉස්සරත් එයා පාර පනින්න එනකොට මං පහළට දුවන්නේ එයාගේ මූණ ළඟට දැකගන්න ඕන නිසා. හැමදාම මට ටොක්කක් අැනලා අහනවා අද මාව මතක් උනේ නෑ නේද කියලා. මිස්ටර් රේමන්ඩ් ගාව අඩු පඩියට ගිණුම් තියන්න ගියදා ඉඳලා හෙලේනා මගේ හිතේ වද දුන්නා. ඒත් මං කවදාවත් එයාට ඒක කියන්න ගියේ නෑ. මට ඒක කියාගන්න හයියක් තිබුනේ නෑ.

සෑම් හොඳ මිනිහෙක් ඌ මං වගේ නොවේ. තැඹිලි පාට වොක්ස් වැගන් කාර් එකෙන් එහෙ මෙහෙ යන කඩවසම් හාදයෙක්. ඒත් හෙලේනා ඌට කැමති උනේ නෑ.ඒත් එ් කසාදේ කොහොම සිද්ධ වුනාද කියන්න දන්නේ නෑ. ඒත් දැන් ගොඩක් දේවල් වෙනස් වෙලා.මං තවම එක්ටැම් මාලිගාවේ නවාතැනේ ඉඳන් සවසට දැල්වෙන විදිලාම්පු අතර හෙලේනා හොයනවා.

ආදරේට එකපාරක්වත් අත අල්ලලා බලන්න බැරි උනත් මට හෙලේනාගේ අත සිනිඳු බව නම් දැනුනා. සෑම් හෙලේනාට හොඳට සලකනවා, ඒ බව මං දන්නවා..ඒත් එයා හරි…හෙලේනා දැන් අම්ම කෙනෙක් ලස්සන නිවුන් කොලු පැටවු දෙන්නෙක්ගේ අම්ම කෙනෙක්.

“තෝමස් මගෙ එක කොලු පැටියෙක්ට මං නම තිබ්බා තෝමස් කියලා.මං දන්නවා මට නොකිවුවට ඔයා මට ආදරේ කල බව.දන්නවද මාත් ඔයාට ආදරෙ කල බව තෝමස්..?? ඒත් අපේ වයස් පරතරය වැඩියි.අම්මාට අසනීප නිසා මට සෑම් බඳින්න සිදුවුනා.සෑම් නරක නෑ.මං සතුටින්.මට එක උදව්වක් කරන්න.එලීනා නරක ළමයෙක් නොවේ ඔයා එයාව බඳින්න.මගේ පුංචි තෝමස්ට බන්දලා දෙන්න ලස්සන චූටි කෙල්ලෙක් හදලා දෙන්න” 

හෙලේනා ඊයේ එවපු ලියුමේ ලස්සනට ලියලා තිබුනා.හුස්මක් පිට කරපු මට ඉබේම ජනේල් පියන් අතරින් පහළ බැලුනා. පහළ වතුර මල ගාවට වෙලා දෑස් දල්වාගෙන එලීනා මගේ දිහා බලාගෙන හිටියා.

හසිත හේරත් | Athirasa [ Life ]